මනුෂ්‍ය ඝාතන සහ නිදන් හෑරීමට සම්බන්ධ බව පැවැසෙන හිටපු හමුදා සෙබළකු සහ ව්‍යාපාරිකයකු මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ පතෙරාම් තුනක් සමඟ කෝපිකෑල්ල සහ මාණික්කවත්ත ප්‍රදේශවලදී පෙරේදා (26) සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොතුපිටිය පොලිසිය පැවැසීය.
හිටපු හමුදා සෙබළා කෝපිකෑල්ල ප්‍රදේශයේ ඔහුගේ බිරියගේ නිවෙසේ සිටියදී එක් ගිනි අවියක් සහ ඊට යොදන පතෙරාම් තුනක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මොහු මෙයට පෙර ජීවත්ව ඇත්තේ ගොඩකවෙල ප්‍රදේශයේය. ඒ කාලයේදී ඔහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මොහු හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත්ව නොමැති බවට ද පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකරුගෙන් සිදු කළ දිර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව විවිධ ව්‍යාපාරවල නිරතව සිටින ව්‍යාපාරිකයකු අනෙක් ගිනි අවිය සමඟ මාණික්කවත්ත ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.
මෙලෙස ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් හමුදාවේ සිටි සැකකරු මීට වසරකට පමණ පෙර පැල්මඩුල්ල, ඕපනායක ප්‍රදේශයේ විහාරස්ථානයක චෛත්‍යයක් බිඳ එහි තිබූ නිදන් වස්තු මංකොල්ලකෑම සම්බන්ධයෙන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අයෙකි. මේ හිටපු හමුදා සෙබළාට මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබුවකු බව පොලිසිය කීවේය. මොහු විවිධ ප්‍රදේශවලට ගොස් විහාරස්ථාන ඇතුළු පෞරාණික ස්ථානවල පිහිටි නිදන් හෑරීම සිදු කර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පැවැසීය. මේ සඳහා අත්අඩංගුවේ සිටින ව්‍යාපාරිකයා සහාය දක්වා ඇති ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද පොලිසිය පැවැසීය.
පොලිසිය පැවැසුවේ මෙරට නිෂ්පාදිත තවත් ගිනි අවියක් රුපියල් 70000ක මුදලකට විකිණීම සම්බන්ධයෙන් සහ මොවුන් සතු ගිනි අවිවලට අවශ්‍ය පතෙරාම් වෙනත් පාර්ශ්වයකින් මිලදී ගැනීම පිළිබඳව මෙන්ම අත්අඩංගුවට ගත් ගිනි අවි භාවිත කර සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරන බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගිනි අවි දෙක සමඟ අද (28) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
රක්වාන – ඉන්දික සී. කුමාර