Monday, April 21, 2025
Home » ඉතාලි තානාපති කාර්යාලය වීඩියෝ කළ සැකකරු දැලේ

ඉතාලි තානාපති කාර්යාලය වීඩියෝ කළ සැකකරු දැලේ

by sachintha
October 28, 2024 1:13 am 0 comment

කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු ඊයේ (27) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී එම පොතට අමතරව, ප්‍රභූවරුන්ගේ සංවාද සටහන් සහ ඒවාට සැකකරු විසින් ලබාදුන් ප්‍රතිවිරුද්ධ පිළිතුරු ඇතුළත් සටහන් ද ඇතුළත් පොතක් හා දිනසටහන් පොතක් මෙන්ම ඡායාරූප ගත කරන ලද ජංගම දුරකථනය මෙන්ම යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ජංගම සංචාරයේ යෙදුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත භාර දී ඇත.

කොළඹ පිටකොටුව මැණින් මාර්කට් හි සහෝදරයකු සමඟ එක්ව ව්‍යාපාර කටයුතුවල යෙදී ඇති එම පුද්ගලයා මීට මාස හයකට පමණ පෙර එම කටයුතුවලින් ඉවත් කර ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

54 හැවිරිදි සැකකාර පුද්ගලයා කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර දෙදරු පියකු බවත් එක් දරුවකු විදේශගතව සිටින බවත් අනෙක් දරුවා විවාහ වී සිටින බවත් පොලිසිය සඳහන් කරයි.

ඊයේ (27) අලුයම් කාලයේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසියේ විශේෂ පොලිස් කණ්‌ඩායමක් කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ සැකකරුගේ නිවස වෙත ගොස් නිවසද දැඩි පරික්ෂාවට ලක් කර බිරියගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සැකකරු මෙම මර්මස්ථාන සටහන් වෙනත් පාර්ශ්වයන් අතට පත්කර ඇද්ද ? මෙසේ සටහන් තබාගෙන ඇත්තේ කුමන කාරණයකටද? ලබාගන්නා ඡායාරූප වට් ඇෆ් තාක්ෂණය ඔස්සේ වෙනත් පාර්ශ්වයට යොමු කර ඇත්ද? යන්න මෙන්ම, පැති කිහිපයක් ඔස්සේ සැකකරුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමටද නියමිත බව පොලිසිය කියයි.

කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

මෙම සිදුවීමෙන් පසු කොළඹ කුරුදුවත්තේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය අවට ආරක්ෂාව තරකර ඇති බව ද වාර්තා වේ.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT