Sunday, April 20, 2025
Home » ඊශ්‍රායල හමුදාවේ ඉරාන ප්‍රහාරය රටවල් රැසක් හෙළාදකී

ඊශ්‍රායල හමුදාවේ ඉරාන ප්‍රහාරය රටවල් රැසක් හෙළාදකී

by sachintha
October 28, 2024 1:19 am 0 comment

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම මැදපෙරදිග සාමය හා ආරක්ෂාව තවදුරටත් බිඳ දැමීමක් බව ප්‍රකාශ කරමින් මැදපෙරදිග අරාබි රටවල් ඇතුළුව රටවල් රැසක් එම ප්‍රහාරය හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම ප්‍රහාරය ඉරානයේ ස්වෛරීභාවය අමඅමුවේ උල්ලංඝනය කිරීමක් බවත්, එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති අතර, වහාම සාම සාකච්ඡා ආරම්භ කර ගැටුම් නැවැත්වීමට පියවර ගන්නා ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කර තිබේ.

මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන සියලු ක්‍රියාකාරකම් හෙළා දකින බව ඊජිප්තුව ප්‍රකාශ කර ඇති අතර, ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලීම වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බව ද සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරය දැඩි ලෙස විවේචනය කරමින් තුර්කිය ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරමින් බටහිර ඉවුර ඈදා ගැනීමට ඊශ්‍රායලය උත්සාහ කරන බවය. ඉරානයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපය පුළුල් යුද්ධයක් අද්දරට පැමිණ ඇතැයි ද තුර්කිය සඳහන් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, සිරියාව, පාකිස්තානය, මැලේසියාව, රුසියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශය ද ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශ නිකුත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT