සාහිත්‍ය නිර්මාණවලට නිදහසේ ගලා යන්නට ඉඩදිය යුතුය. එලෙසම කිසියම් කෘතියක් සම්බන්ධයෙන් අවසන් විනිශ්චය ලබාදීමේ අයිතිය විචාරකයාට හිමිවන්නේ ද නැත. එහෙත් සාහිත්‍යෙය් දී වැදගත්ම සාධකය ලෙස සැලකිය හැකි පාඨකයා ගැන සැලැකිල්ල යොමුකරන විට එක්තරා කොන්දේසියකට නිර්මාණකරුවා එකඟ විය යුතුය. එනම්; පාඨක වින්දනය යන්නය. වින්දනයක් නැති තැන සාහිත්‍යයක් නැත. වින්දනයක් නැති කල නවකතාවක්ද නැත.
අපේ සිංහල ස්වතන්ත්‍ර නවකතාව කෙතරම් අයාලේ ගොස් තිබේද යන්න සනාථ කරන කදිම සාධකයක් හැටියට දර්මපුරම් ප්‍රබන්ධය පෙන්වා දිය හැකිය. එය කිසිදු පැහැදිලිතාවක් නැති අවුල් ජාලයකි. න්‍යායක්, සම්ප්රදායයක්, කතා වස්තුවක්, ආකර්ෂණයක් නැති දර්මපුරම් කියවාගත්තේ ඉතා අපහසුවෙන් බව සටහන් කළ යුතුය. කතුවරිය තමාගේ සිතට නැඟෙන විකාර සිතුවිලි සියල්ල ඒකාබද්ධකොට පිටු තුන්සිය ගණනාවක් පුරාවට පෙළගස්වා ඇත. ඇය කියන්නට අදහස් කරන්නේ කුමක්ද? ඇයගේ ඉලක්ක මොනවාද යනු දෙවියන්ගෙන් විමසා සිටිය යුතුය.
ආභාසයක්, හැදෑරීමක්, පර්යේෂණයක් හා සංස්කරණයක් නැතිව කොළ පුරවා අතාර්තික කතා පෙළගැස්වීම නවකතා ක්ෂේත්රයට සිදු කරන බලවත් අපරාධයකි. රටේ ප්‍රකාශන සමාගම්ද ඊට වගකිව යුතුය. බොහෝ රටවල ප්‍රකාශන සමාගම් සංස්කාරක මණ්ඩලයක් හා තේරීම්භාර කමිටුවක් පවත්වාගෙන යයි. ඔවුන්ගේ අනුමැතිය නැතිව පොත් පළ කරන්නේ නැත. කතුවරයා සංස්කරණයට ද ඉඩ දිය යුතුය. අපේ රටේ එවැන්නක් දකින්නට නැත. මුදලාලි මහතා කැමැති නම්; ඕනෑම ප්රකාශනයක් මුද්‍රණය කරනු ලැබේ. මේ නිසාම අපේ පොත් කලාවේ ප්‍රමිතිය පල්ලම් බැස ඇත.
ඉන්දියාව, අමෙරිකාව, එංගලන්තය, වැනි රටවල සමාජ මාධ්‍ය සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් වැඩිමනක් ප්‍රතිචාර පළ කරයි. ඒවා දීර්ඝ විචාර නොවන්නේ වුව කෘතියේ හැඩය හා අර්ථය මනාව පැහැදිලි කරයි. විදේශිකයෝ පවා ඒවා කියැවීමට කැමැත්තක් දක්වති. ඉතා කෙටියෙන් දක්වන පාඨක ප්‍රතිචාර වඩා තාර්කිකය. වඩා ශක්තිමත්ය. වඩා ආකර්ෂණීය ද වේ. “නොට් රොමෑන්ස්” “නොට් ඉන්ටර්මිටින්” “ටේස්ට්ලස්” වැනි කෙටි යෙදුම් මේ අතර දක්නට ලැබේ. රොමෑන්තික නොවන නවකතා සම්බන්ධයෙන් ආකර්ෂණයක් නැත. වින්දනයක් නැති නවකතා දැඩි විවේචනයට ලක්වෙයි. වින්දනය කෙරෙහි බලපාන සාධක කිහිපයක් පෙන්වා දිය හැකිය.
(I) පැහැදිලි කතාවක් තිබීම, (II) සාර්ථක චරිත නිරූපණයක්, (III) විචිත්‍ර පසුබිමක්, (IV) තාර්කික සිද්ධි ගැළපීමක්, (V) කුතුහලය හා විස්මය කතාව පුරාවටම පවත්වා ගැනීම, (VI) කාලීන අන්තර්ගතයක් සහිතව වැදගත් තේමාවක් තෝරා ගැනීම, (VII) නාටකීය අවස්ථා නිරූපණය, (VIII) භාෂාවේ හා ශෛලියේ අපූර්වත්වය, (IX) උත්ප්රාසය නැංවීම, (X) සංවාදවල යටිපෙළ
මනෝරි සිලිකා වික්‍රමආරච්චිගේ දර්මපුරම් නවකතාව යාපනය, කොළඹ, යුරෝපය, ශ්‍රී ලංකාවේ වතුකරය යනුවෙන් ප්‍රදේශ ගණනාවක් පසුබිම්කොට රචනා වී ඇත. චරිත ගණනාවක් කතාවට ඇතුළත්ය. මූර්ති, නේරංජනා, රේඛා, සසඳා, මාතම්මා, ක්‍රිෂ්ණා, සෙන්නී, මාතා, පොඩිවී ඉන් කිහිපයකි. මේ චරිත එකිනෙකාට සම්බන්ධ වන්නේ කෙසේද යනු පැහැදිලි නැත. වරෙක අනාථ කඳවුරක්ද තව වරෙක, දෝතුළුගෙදර නම් නිෙවසක්ද, පාසලක්ද, ගමක්ද, නගරයක් ද කතාවට සම්බන්ධ වෙයි. චරිත එකිනෙකා හා පැටලෙති. රණ්ඩු කරති. අවමන් කරගනිති. එම සිද්ධිවලට හේතුවක් නැත. තර්කයක් නැත. පාඨකයාට එකිනෙක චරිත හඳුනාගැනීමේ අවස්ථාවක් ද නැත. ආකස්මිකව හැසිරෙන චරිත දැකගත හැකිය. ජාතිවාදය, අවජාතභාවය, දිළිඳුකම, නූගත්කම, බලය පිළිබඳ සාධකය වරින් – වර මතුවන්නේ වුව ඒවා පාඨකයාට දැනෙන ලෙස නිරූපණය වන්නේ නැත.
ප්‍රබන්ධ කථාව සම්බන්ධයෙන් ඇති වැදගත්ම උපදේශන දෙකක් ලෙස සැලැකිය හැක්කේ කතුවරයා කතාවෙන් ඉවත්වී නිරූපණයට මුල්තැන දීම හා අනවශ්‍ය වග විස්තරවලින් කතාව අවුල් නොකර සිටීමය. කතුවරිය මේ කතාවෙන් ඉවත්වන්නේ නැත. ඇය කවි – සින්දු – පඬිවදන් ආදියෙන් කතාව පුරවා දමන්නේ තමන්ගේ පාණ්ඩිත්‍යය ප්‍රකාශ කිරීමට මෙන්ය.
පස්වන පරිච්ඡේදය ආරම්භයේදී ඉදිරිපත් කරන මේ දීර්ඝ විස්තරය බෙහෙවින් නීරස වන අතර එය කතාව සමඟ ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ වන්නේ කෙසේද යනු ගැටලුවකි.
මෙබඳු කවි – සින්දු ගණනාවකින් ප්‍රබන්ධය පිරී ඇත. ඒවායින් පෙනී යන්නේ කතුවරිය කිවිඳියක් බව පමණි.
ව්‍යාකූලභාවය හා එකිනෙක ශිල්පධර්ම අතර නොගැළපීම් නවකතාවේ ඇති තවත් දුර්වලතාවකි. සාර්ථක ප්රබන්ධයක සියලු අංග මනාව ගැළපෙයි. “දර්මපුරම්” නවකතාව ආරම්භ වන්නේම පටලැවිලි සමූහයක් සමඟය.
“බයිසැන්තියානු යුගයේ (Byzantine Impire) ඒකාධිපති නයික් ෆොරොස්ගේ බිරිය හා පුතා විසින් 1920 දී ඉදිකළ 13 වන සියවසට අයත් ග්‍රීසියේ එෆිරස් ප්‍රදේශයේ පිහිටා ඇති Parigoritissa පල්ලියේ බාහිර පිහිටීමට සමාන ඒ සුවිශේෂී සිතුවම සිහිගන්වන ගොඩනැඟිල්ලක ඉදිරිපිට ස්ථානයක දී කුලී රිය නතර විය.”
නවකතාවක ආරම්භය බෙහෙවින් ආකර්ෂණීය වීම වැදගත්ය. එලෙසම එය පැහැදිලි, විචිත්‍ර ආරම්භයක් ද විය යුතුය. එසේ නොවන කල කියැවීම දුෂ්කරය. නවකතාව යනු අපහසුවෙන් කියැවිය යුතු පාඩම් පොතක් නොවේ. මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් විසින් ලියන ලද අගනා විචාර ග්රන්ථයක් වූ “හව්ටු රයිට් අ සෙන්ටෙන්ස්” නම් කෘතියෙහි පරිච්ඡේදයක් පුරාවට නවකතාවක ආරම්භය පිළිබඳ අගනා විවරණයක් පළවෙයි.
ඇතැම් නවකතාකරුවන් දුෂ්කර ප්‍රහෙලිකා බඳු ප්‍රබන්ධ ඉදිරිපත් කරනු දැකිය හැකිය. ඔවුන්ගේ තර්කය වන්නේ පාඨකයා කතුවරයාගේ ඉලක්ක හඹා යා යුතු බවය. නැතහොත් සූක්ෂ්ම කියැවීමකින් කතුවරයාගේ යටිපෙළ අල්ලා ගත යුතු බවය. එය බෙහෙවින් වැරැදිසහගත තර්කයක් වන අතර පාඨකයාට කරනු ලබන අයුක්තියක් බව ද පෙන්වා දිය යුතුව තිබේ. අමෙරිකාවේ නූතන සාහිත්‍ය විචාරකයෝ නවකතා වාරයේ අධ්‍යාශය ගැන පමණක් නොව කෘතියක ඇති ආර්ථික වටිනාකම ගැන පවා සැලකිලි යොමු කරති. ඒ අනුව නවකතාවක පිටකවරය පවා වැදගත්ය. පිටකවරය නවකතාවක ශිල්පීය අංගයක් ලෙස සලකනු ලැබේ. එමෙන්ම නවතාවක් කෙරෙහි පාඨක ආකර්ෂණය යොමු කරන පළමු සාධකය වන්නේ ද පිටකවරයයි. දෙවන සාධකය කතාවට යොදන සිරස්තලය. හෙවත් නවකතාවට යොදා ඇති නාමයයි.
නූතන අමෙරිකන් සාහිත්‍ය විචාරකයන් යළිත් අර්නස්ට් හෙමිංවේ ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. හෙමිංවේ ප්‍රබන්ධ කථාවේ පරමාදර්ශයක් ලෙස සලකනු ලැබේ. හෙමිංවේගේ රචනා ශෛලියෙහි ඇති විශේෂතා කිහිපයක් සඳහන් කළ හැකිය.
(I) තියුණු යටිපෙළක් සහිත රසවත් සංවාද, (II) සංකීර්ණ චරිත නිරූපණය හා චරිත ගවේෂණය, (III) පැහැදිලි හා ශක්තිමත් කතා වස්තුවක් පැවතීම, (IV) සරල – සුගම සුන්දර භාෂාව
පාඨකයා විශ්වාසයකින් යුතුව කතාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීම හෙමිංවේගේ උපාය මාර්ගයක් ලෙස පවතී. ඔහු කතුවරයකු ලෙස අනවශ්‍ය විස්තර – වර්ණනා ඉදිරිපත් කරන්නේ නැත. රිද්මය කෙරෙහි ද පාඨකයාගේ රස – භාව කෙරෙහි ද විශේෂ උනන්දුවක් – සැලකිල්ලක් දක්වයි. සැබෑ සිද්ධි, සැබෑ නම් – ගම්, සැබෑ ස්ථාන කතාවකට පාදක කරගැනීම හෙමිංවේගේ රචනා කලාවේ විශේෂ ලක්ෂණයකි. ප්‍රධාන ශිල්පීය අංග හතරක් කෙරෙහි උනන්දු වෙමින් හෙමිංවේ තම ප්‍රබන්ධ රචනා කර ඇති බව පෙනෙයි.
(I) චරිත නිරූපණය, (II) භාෂාව, (III) අන්තර්ගතය, (IV) දෘෂ්ටිකෝණය
හෙමිංවේගේ නවකතාවල ඇත්තේ චරිත කිහිපයකි. ඒ සෑම චරිතයක්ම සුවිශේෂී වෙයි. ඔහු හැමවිටම යථාර්ථයට බර විය. යථාර්ථය හෙළිදරව් කිරීම නවකතාකරුගේ වගකීමක් ලෙස සලකන්නට හෙමිංවේ පුරුදු වී තිබේ. මේ ලේඛකයා වැඩියෙන්ම නැඹුරු වූයේ සංස්කරණය කරමින් කතාව නැවත සකස් කිරීමටය. හෙමිංවේ හදිසියේ කතා රචනා කළේ නැත. ඔහු අවශ්‍ය කාලය ලබා ගත්තේය. ඉලක්කය සම්පූර්ණ වන තෙක් කතාව සංස්කරණය කළේය.
අසම්මත ලේඛන රටාවක් 19 සියවස අගභාගයේ යුරෝපයේ ජනප්‍රිය විය. “ඇබ්සාර්ඩ් ආට්” ලෙස එය හැඳින්විණි. ලෝක යුද්ධවලින් හා කාර්මීකරණය උත්සන්න වීමෙන් පසු මිනිස් හැඟීම් ක්‍රියාකරන ආකාරය එහිලා නිරූපණය කැරිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මනුෂ්‍ය ස්වභාවය උත්කර්ෂයට නැංවීම යැයි කිව හැකිය. සැමුවෙල් බෙකට්ස්, ඉයුජින් අයනෙස්කෝ වැනි රචකයෝ ඒ අනුව නාට්‍ය රචනා කළහ. ඇල්බෙයා කැමූ වැනි රචකයෝ ප්‍රබන්ධ කතා බිහි කළහ. ඒ සෑම රචනාවක්ම රසවත්ය. අර්ථවත්ය. එමෙන්ම දේශපාලනිකය. සාහිත්‍යකරුවාට සම්මතය බිඳගෙන ඉදිරියට යා හැකිය. එලෙස කළ යුත්තේ තර්කයක් සහිතව අර්ථවත් ලෙසය.
මනෝරි සිලිකාගේ “දර්මපුරම්” නවකතාව තුළ ඉහත සඳහන් කිසිවක් නැත. එය වැල්වටාරම් සහිත අවුල්ජාලාවක් බව පමණක් අපට කිව හැකිය.
රන්ජන් අමරරත්න