විවිධ රටවල කණ්ඩායම් සහභාගි කරගනිමින් වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇති ග්ලෝබල් සුපර් ලීග් (Global Super League) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර රටවල් 5ක සහභාගිත්වයෙන් ගයානාහිදී ලබන මස 26 වැනිදා ආරම්භ වෙයි.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ඇතිව ගයානා රජයේ සහයෝගයෙන් සංවිධාන කරන මේ තරගාවලියේ පළමු අදියරට කැරිබියන් ප්‍රිමියර් ලීග් (සීපීඑල්) ශූරතාව දිනාගත් ගයානා ඇමසන් වොරියර්ස්, පාකිස්තාන සුපර් ලීග් (පීඑස්එල්) තරගාවලියට ක්‍රීඩා කරන ලාහෝර් ක්ලැන්ඩර්ස්, බංග්ලාදේශ සුපර් ලීග් (බීපීඑල්) තරගාවලියේ රාන්ග්පූර් රයිඩර්ස්, එංගලන්තයේ ටී20 බ්ලාස්ට් (T20 Blast) තරගාවලියට ක්‍රීඩා කරන හැම්ප්ෂයර් හැවක්ස් සමඟ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කණ්ඩායමක් වන වික්ටෝරියා එක්වීමට නියමිතය.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 4 සමඟින් තරග වදින අතර, තරග 11කින් සමන්විත තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට එක් වනු ඇත. එම තරගය දෙසැම්බර් 7 වැනිදා පැවැත්වේ. තරගාවලියේ ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමි වනු ඇත.
කෙසේ වෙතත් මේ දිනවල ජාත්‍යන්තර සහ ලීග් තරගාවලි පැවැත්වෙන බැවින් මේ තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක ක්‍රීඩකයන්ට තරගාවලිය අහිමි වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.