සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි හා අවසන් එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.30ට ආරම්භ වේ. තරග 3කින් සමන්විත තරගාවලිය දැනටමත් 2-0ක් ලෙස ජයගෙන සිටින ශ්‍රී ලංකා පිල වසර 4කට පසු කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පූර්ණ තරගාවලි ජයක් යළි සටහන් කිරීම අදිටන් කරගෙන සිටී. එහෙත් දිගින් දිගටම ලබන පරාජයේ ලැජ්ජාවෙන් මිදීම වෙනුවෙන් මේ තරගය ජය ගැනීමට කොදෙව්වෝ සියලු ප්රයත්න දරමින් සිටිති.
ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණි පසුබිමක මේ ජාත්‍යන්තර එක්දින තරගාවලිය ආරම්භ වූ අතර, එහිදී පිට පිට තරග දෙකම පරාජයවීම කොදෙව් පිලේ මානසිකත්වයට බෙහෙවින් බලපා තිබේ.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමු හා දෙවැනි එක්දින තරග දෙකේදීම කඩුලු 5 බැගින් ශ්‍රී ලංකා පිල ජය වාර්තා කළ ද, එම තරග දෙකටම වර්ෂාව බාධා කිරීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ප්‍රතිඵලය තීරණය කිරීමට විනිසුරුවන්ට සිදු විය.
අද පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයට ද වර්ෂාව බාධා කරනු ඇතැයි කාලගුණ අනාවැකියේ සඳහන් වේ. කාලගුණ අනාවැකි වලට අනුව, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරගය මුළු කාලයේදීම පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු තබාගත නොහැක.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත් 34ත් අතර වනු ඇතැයි අපේක්ෂා කරන අතර, බටහිර දෙසින් සුළං සමඟ වර්ෂාව ඇඳ හැලීමට ඉඩ තිබේ. අනාවැකියට අනුව වර්ෂාපතනයට 85%ක සම්භාවිතාවක් පවතින අතර ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ සම්භාවිතාව 25%කි. දවස පුරා කාලගුණය තෙත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, විටින් විට වැසි සහ 95%ක පමණ වලාකුළු ආවරණයක් ද ඇති වේ. ඒ නිසා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන බව කාලගුණ අනාවැකියේ සඳහන්ව තිබේ.
පල්ලෙකැලේ තණතීරුව නිමාවූ තරග දෙකේදීම දෙවැනි ඉනිමේ පිතිකරුවන්ට වාසිදායක වූවේය. එම තරග දෙකේදී ඉදිරියෙන් සිටි පිතිකරු බවට පත්වූයේ ෂේරෆේන් රදෆර්ඩ්ය. ඔහු ඉනිම දෙකේදී හයේ පහර 7ක් සමඟ ලකුණු 154ක් ලබාගත් අතර, චරිත් අසලංක තරග දෙකේදී හයේ පහර 4ක් සමඟ ලකුණු 139ක් ලබා ගත්තේය. නිශාන් මධූෂ්ක ලකුණු 107ක් හා සදීර සමරවික්‍රම ලකුණු 56ක් ලබා සිටිති.
පල්ලේකැලේ තණතිල්ලේ ස්වභාවය අනුව දඟ පන්දු යවන්නන් කඩුලු බිඳ හෙළා ගත්ත ද වේග පන්දු යවන්නන් ඉක්මනින් දෝලනය ලබා ගනී. වනිඳු හසරංග කඩුලු 6ක්, ගුඩාකේෂ් මෝති කඩුලු 4ක් බිඳ හෙළා ගනිද්දී වේග පන්දු යවන්නන් වන අල්සාරී ජෝෂප් කඩුලු 4ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් බිද හෙළා ගත්හ.
ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ ආරම්භක පිතිකරු ලෙස යළි පිටියට පිවිසීමට පැතුම් නිශ්ශංක සූදානමින් සිටින බවය. එහෙත් ඒ සම්බන්ධ අවසන් තීරණය ගත යුත්තේ තේරීම් කමිටුව, පුහුණුකරු හා නායකයා බවය. කෙසේ වුවද අද තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට පැතුම් නිශ්ශංක ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසෙනු ඇතැයි විශ්වාසයවී තිබේ.
“පැතුම් ගැන තීරණය හෙට උදේ කණ්ඩායම නම් කරද්දී දැන ගන්න පුළුවන්. චරිත් නායකයෙක් හැටියට වගනීම් සහගත පිතිකරණයක යෙදෙනවා. ඒක අපිට විශාල වාසියක්. නිශාන් මධුෂ්ක ‘ඒ’ කණ්ඩායමේ හොඳින් ක්‍රීඩා කළ නිසා එක්දින සංචිතයට ආවේ. ලැබුණු අවස්ථාවෙන් ඔහු ප්‍රයෝජනය ගත්තා. ඉදිරියේදී නවසීලන්ත පිල ශ්‍රී ලංකාවට එනවා. ඒකත් වැදගත් තරගාවලියක්” කණ්ඩම්බි මහතා පැවසීය.