සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට ඊයේ (25) අලුයම කඩා වැදුණු අලියකු පෙරළා දැමූ පොල් ගසක් පාසල් ගොඩනැඟිල්ලක වහලය මතට වැටීමෙන් එම ගොඩනැඟිල්ලේ වහලයට හානි සිදු වී ඇතැයි සේරුනුවර පොලිසිය පැවසීය.
අලියා පෙරළූ ගස පාසල් ගොඩනැඟිල්ලේ වහලය මතට කඩා වැටීමෙන් වහලයට හා උළු කැට හතළිහකට පමණ හානි සිදුව ඇතැයි විදුහල්පති බී.ජී.එස්. විජේකුමාර මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. මීට අමතරව පාසල් ජලනල පද්ධතියට ද හානි සිදු කර තිබේ.
ඇතැම් දිනවල උදෑසන හයට පමණ තමන් පාසල විවෘත කිරීමට එන විට අලියා පාසල තුළ රැඳී සිටින බවත්, එවැනි අවස්ථාවල අවට මවුපියන් කැඳවා අලියා එළවා දමන අවස්ථා ඇති බවත් විදුහල්පතිවරයා කීය. සිදුව ඇති හානිය පිළිබඳ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා ද දැනුම්වත් කර ඇත.