යාපනයේ සිට මඩකලපුව දක්වා රෝගීන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක් කිළිනොච්චියේදී අනතුරකට ලක් වීමෙන් හතරදෙනකු තුවාල ලබා පෙරේදා (24) කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මඩකලපුව රෝහලේ සිටි රෝගීන් තුන්දෙනකු හදිසි පරීක්ෂණ කිහිපයක් සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන විත් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී එම ගිලන් රථයට කිළිනොච්චියේදී යතුරුපැදිකරුවකු ගැටීම නිසා අනතුර සිදුව තිබේ.
යතුරුපැදිකරු හා ගිලන් රථයේ සිටි රෝගීන් තුන්දෙනා මෙසේ රෝහල්ගත කොට ඇත. අනතුරෙන් ගිලන් රථයට ද හානි සිදුව තිබිණ.
මෙම අනතුරට හේතුව ගිලන් රථ රියැදුරු හදිසියක් නොමැතිව වුවද අධික වේගයෙන් ගිලන් රථය පැදවීම බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. කිළිනොච්චිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.