වලස්මුල්ල, මොරකන්දගොඩ , විහාරගල ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුතු සෙල් ලිපිය පිහිටි ගල යට කිසියම් පිරිසක් විසින් හාරා ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි.
මෙම සෙල් ලිපිය දෙවැනි සියවසට අයත් එකක් බව සැලකේ. සෙල් ලිපිය පිහිටි ගලේ යට අඩි හතරක් පමණ යටට අඩි හතරක් පමණ පළලට හාරා ඇතැයි ද එහෙත් සෙල් ලිපියට හානියක් සිදු වී නැතැයි ද පවසන පොලිසිය සැක පළ කරන්නේ, නිධන් වස්තු ගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම කැනීම් සිදු කරන්නට ඇතැයි කියාය. සිද්ධිය පිළිබඳව පෙරේදා (24) වලස්මුල්ල, කටුවන ප්‍රදේශය බාර පුරාවිද්‍යා නිලධාරිනිය වලස්මුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
සෙල්ලිපිය පිහිටි ඉඩම පුද්ගලික ඉඩමක් බවත්, සෙල්ලිපියේ ආරක්ෂාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුරකරුවකු යොදවා ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය. තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි මහතාගේ අධීක්ෂණය යටතේ වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිංස්ලි හේරත් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.