ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බලප්‍රදේශ ගණනාවක් තුළ කාලයක් පුරා යතුරුපැදි සොරාගැනීම් සහ රන්මාල කොල්ලකෑමේ යෙදී සිටි මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ පුද්ගලයන් හත් දෙනකුගෙන් යුත් කල්ලියක් සමඟ යතුරුපැදි හයක් සහ රන් මාල 13ක් අත්අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලිසිය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සහ සොරකම් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක හෂාන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් යක්කල ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසියකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය සොරකම් කළ එකක් බවට අනාවරණය වීම මත අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝග යටතේ රඳවා ගනිමින් කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සොරාගත් යතුරුපැදි හයක් සහ කොල්ලකෑ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා රන් මාල 13ක් විවිධ ස්ථානවලදී සොයා ගත් බව ද පොලිසිය පැවසීය.
මොවුන් විසින් සොරාගනු ලබන යතුරුපැදිවල අංක තහඩු වෙනස් කොට කොල්ලකෑම්වල යෙදී ඇති බවත්, මෙසේ සූක්ෂ්මව එන්ජින් පණ ගන්වා සොරාගන්නා යතුරුපැදි රැගෙන ගොස් වේයන්ගොඩ ප්‍රදේශයේ සඟවා තබන බවද පොලිසිය හෙළි කරගෙන තිබේ. සොරාගෙන ඇති යතුරුපැදිවල නියම හිමිකරුවන් සොයාගෙන ඇති අතර, කඩවත, යක්කල, වේයන්ගොඩ, දිවුලපිටිය, කිරිබත්ගොඩ සහ කිරිඳිවැල යන ප්‍රදේශවලදී රන් මාල කොල්ලකෑම් සිදු කළ බවද අනාවරණය වී ඇත.