දිඹුලාගල මනම්පිටිය මාගන්තොට ගම්මානයේ අසරණ යුවළක් පදිංචිව සිටි කුඩා නිවෙසකට පෙරේදා (24) සවස අකුණක් වැදීමෙන් එම නිවෙස සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව මනම්පිටිය පොලිසිය පැවසීය.
අසරණ මහලු යුවළගේ ජාතික හැඳුනුම්පත් දෙක, උප්පැන්න සහතික, බැංකු ගිණුම්, අස්වැසුම කාඩ්පත මෙන්ම අත්‍යවශ්‍ය ලියකියවිලි, ඇඳ මේස පුටු ඇතුළු ගෘහ උපකරණ මෙන්ම ඇඳිවත හැරුණු කොට අන් සියල්ලම අකුණු සරට ගිනිගෙන අළු බවට පත්ව තිබේ. මනම්පිටිය මාගංතොට ගම්මානයේ අංක 59 ලිපිනයේ ජීවත් වූ 73 වියැති ආබාධිතව සිටින කේ. නන්දසේන සහ 63 වියැති එන්. ජී. ඉන්ද්‍රාණී යන දෙපොළ ජීවත් වූ පැල්පත මෙසේ ගිනිගෙන විනාශ වී ඇත. අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන මෙම ස්ථානයේ වසර හතකට ආසන්න කාලයක් ජීවත් වූ මෙම අසරණ රෝගී යුවළගේ නිවෙස ගින්නෙන් විනාශ වීම හේතුවෙන් ඔවුනට ජීවත් වීමට හෝ ස්ථානයක් නොමැති අතර, ඔවුන් දෙපොළ මේ වන විට අසල නිවෙසක තාවකාලිකව නැවතී සිටිති.
මනම්පිටිය ආච්චි බෝක්කුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් 2019 අප්‍රේල් 01 වැනිදා නන්දසේන මහතා ආබාධිත තත්ත්වයට පත් වූ අතර, මාස හයක කාලයක් රෝහල්ගතව සිටීමෙන් අනතුරුව වම් පාදය ඔහුට අහිමි වීමෙන් පසු ඔහු තම බිරිය ජීවත් කිරීම සඳහා මනම්පිටිය ගණදෙවි දේවාලය අසල රැඳෙමින් එම මාර්ගයේ ගමන් කරන අය ලබාදෙන යම් මුදලකින් ඔවුන්ගේ ජීවිත සරිකර ගෙන තිබිණ.
“අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. අපි දෙන්නට දරුවෝ නැහැ. මම බයික් එකට හැප්පිලා මගේ කකුල අහිමි වුණා. මාස හයක් පොලොන්නරුව ඉස්පිරිතාලේ නැවතිලා ප්‍රතිකාර ගත්තා. අවසානයට මගේ කකුල කපන්න සිදු වුණා. මෙතැනට ඇවිල්ල දැන් අවුරුදු හතක් විතර වෙනව. මම මනම්පිටිය පුල්ලියාර රූපය ළඟ රැඳෙමින් ඒ මාර්ගයේ ගමන් කරන කවුරුන් හෝ ලබාදෙන මුදලකින් තමයි අපි දෙන්නගේ ජීවිතයේ ගැටගහ ගත්තේ. ඊයේ හවස වැස්සත් සමඟ ආපු අකුණු සරෙන් අපේ ගෙදර සම්පූර්ණයෙන් පිච්චිලා ගියා. අකුණු ගහද්දි අපි හිටියේ ළඟ ගෙදරක, අපිත් බේරුණේ අනූ නවයෙන්. අපි දෙන්නගේ උප්පැන්න සහතික, හැඳුනුම්පත්, රුපියල් 7,500 අස්වැසුම කාඩ් එක, තවත් අත්‍යවශ්‍ය ලියකිවිලි සේරම පිච්චිලා අළු වුණා. ග්‍රාමසේවක නෝනා ඇවිල්ලා අපේ විස්තර ලියාගෙන ගියා. පුළුවන් කෙනෙක් ඉන්නව නම් අපේ මේ ගේ හදාගන්ඩ උදව් උපකාර කරන්න කියලා ඉල්ලීමක් කරනවා.” යැයි නන්දසේන මහතා සහ බිරිය ඉන්ද්‍රාණී හැඬූ කඳුළින් සඳහන් කළහ.