රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන නොගියොත් යළිත් පෝලිම් ඇතිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.
නිමල් ලාන්සා මහතා මේ බව කියා සිටියේ මීගමුව, ගෝල්ඩන් ස්ටාර් හෝටලයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් නිමල් ලාන්සා මහතා මෙසේ ද පැවසීය.
“ජනතා විමුක්ති පෙරමුණ බලයට එනකොට කියපු එක දෙයක්වත් අද කරන්න බැරිවෙලා තිබෙනවා. බිත්තරයෙන්,ඉන්ධනවලින් කොමිස් ගන්නවා කීවා.මෙවැනි දේවල් වේදිකාවල කියා බලය ගත්තා. ජනතාව ඒ කියන දේවල් විශ්වාස කර බලය දුන්නා.මාසයක් දැන් ඉවර වෙලා. රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ හැර වෙනත් අලුත් දෙයක් කර නැහැ.
ආපු ගමන් මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් එළවනවා කීවා. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙළ ජනතාව හූරා කනවා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සංශෝධනය කරනවා කිව්වා.
වේදිකාවේ ප්‍රධාන පොරොන්දු හතරක් කීවා.උපයන විට බදු අය කරන සීමාව වැඩි කරනවා කීවා.වැට් එක අඩු කරනවා කීවා.රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මාස හයෙන් හයට වැඩි කිරීම හා ගුරු වැටුප් විෂමතා ඉවත් කරනවා කිව්වා.මේ දේවල් කරනකොට අඩුවන ආදායම උපයාගන්න හැටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වන්න ඕනෑ. ඒ නිසා වේදිකාවේ කියපු එකක්වත් මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න බැහැ.මේ අය අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ නැහැ. ගෙනාවොත් ආදායම් උපයන හැටි, ජනතාවට සහන දෙන හැටි පෙන්වන්න වෙනවා. ඒ නිසා මාස තුනක් අදින්න අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. කොහොම වුණත් මාර්තු වෙනකොට අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න වෙනවා.”