කැඩුණු පාරවල් පෙන්නලා ඡන්දෙ ගන්න දේශපාලන ක්‍රමය අවසන් කරන බව කළුතර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉකුත් 23 වැනි දින වළල්ලාවිට දී පැවසීය.
ජාතික ජන බලවේග ජන හමුවකදී ඒ මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසීය.
Òඅපි මේ රට ගොඩනඟන්න පටන් ගන්නේ ග්‍රාමීය ආර්ථිකය මුල් කරගෙනයි. කලින් පාලනය කළ අය මුලින්ම අතගාන්නේ මහා පරිමාණ ව්‍යාපෘතිවලට. මොකද ඒවායින් ගසා ගන්න පුළුවන් ප්‍රමාණය වැඩියිනේ.
එදා අපි ගැන නොදන්න වෙනිසියුලා රාජ්‍ය පවා මේ රට දූෂිත රටක් ලෙස හංවඩු ගැසුවා. ඒත් අද මේ රටේ දූෂණ විරෝධී ආණ්ඩුවක් බිහිවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවා කතා බහට ලක් කරලා.
ආණ්ඩුව පත් වෙලා තවම මාසයක් විතරයි වුණේ. එක්තරා පිරිසකට පමණක් ක්ෂණික සංවර්ධනයක් අවශ්‍ය වෙලා. හිටපු ජනාධිපති දිනුවා නම් 2048 වෙනකම් බලා ඉන්න පුළුවන් අයට මාසයක් ඉවසාගෙන ඉන්න බෑ. ජනතාව දන්නවා ඔය අවලාද මඩ ගහන්නේ මොකද කියලා. අපි ශක්තිමත් ආණ්ඩුවක් පිහිටෙව්වාට පසු කරන්න බොහෝ දේවල් තිබෙනවා. ලබන 16 වැනිදා වෙනකොට ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් පත් කර රටේ යහපත වෙනුවෙන් කරන දේවල් බලාගන්න පුළුවන්.
මේ රටට අද අවශ්‍ය ශක්තිමත් විපක්ෂය, එඩිතර විපක්ෂය, සූරවීර විපක්ෂය කිය කිය බොහෝ දෙනකු ජනතාව ගොනාට අන්දවන්න හදනවා. විපක්ෂයක් ශක්තිමත් වන්නේ ඔළු ගෙඩි ප්‍රමාණයෙන් පමණක් නොවෙයි. ඔළුගෙඩි කීය වුණත් විපක්ෂයට අවශ්‍ය වෙලාව පාර්ලිමේන්තුවේ වෙන් කරනවා.
මේ රටට මුලින්ම අවශ්‍ය ශක්තිමත් ආණ්ඩුවක්. ආණ්ඩුව ශක්තිමත් කරන්නේ නැතිව රටේ සංවර්ධනය කරන්න බෑ. මෙතෙක් කල් මේ රටේ අධ්‍යාපනයට නිසි තැනක් නොලැබීම විශාල ගැටලුවක්. කොළඹ හතේ ඉපදිලා කොළඹ ඉස්කෝලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ගිය අයට ගමේ පාසලේ තත්ත්වය තේරෙන්නේ නෑ.
ඒ නිසා අපි මුළු රටේම පාසල් පද්ධතිය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. පාසලෙන් විශ්වවිද්‍යාලයෙන් එළියට එන විට අද විශාල වශයෙන් රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. පාසලේ 9 වන ශ්‍රේණියේ සිට තමන් කැමති මාර්ගය තෝරාගෙන ඒ අනුව දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අපි සලසනවා. රටේ තාක්ෂණික දියුණුව මේ රජයේ විශාල දියුණුවක් කරා ගෙනයෑමට දැනටමත් සැලසුම් කර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් වන සංජීව රණසිංහ, ධනුෂ්ක රංගනාත් සහ වලල්ලාවිට ජාතික ජන බලවේග කොට්ඨාස නායක සුනිල් අබේසිරි මහත්වරුන් ද, පළාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවන් පිරිසක් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.