එකතු වෙන දේශපාලන පක්ෂ, ඡන්දයට පෙර, එක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. හැමදාම ආණ්ඩුවෙන් දීමනා සහනාධාර ලබාගෙන මෙරට ජනතාව ජීවත් නොවිය යුතු බවත් සෑම දෙනාම ආර්ථිකයේ පංගුකාරයන් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය. කොනිත්ත කොනිත්තා ඉන්නේ නැතිව පැරදුණා නම් ගෙදරට වී සිටින ලෙස, හිටපු ජනාධිපතිවරයාගෙන් වත්මන් ජනාධිපතිවරයා ඉල්ලා සිටි අතර, දියුණු වන රට බලන්න බැරි අයට කෙඳිරි ගගා සිටිය හැකි යැයිද පැවසීය. මුදල් අමාත්‍යාංශ නිලධාරින් මේ වන විට එක්සත් ජනපදයට ගොස් සහනදායී වැඩසටහන් සකස් කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (25) පුත්තලම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
අපේ රටේ පුරවැසියන්ට, දීමනා හරහා සහනාධාර හරහා ජීවත් වන්න පුළුවන් තත්ත්වයක් අප හදන්නේ නැහැ. හැමදාම ආණ්ඩුවෙන් දීමනා අරගෙන සහනාධාර අරගෙන අපේ රටේ ජනතාව ජීවත් විය යුතු නැහැ. ජනතාවම ආර්ථිකයේ පංගුකරුවන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මාන්තයෙන් දියුණු රටක් කරනවා.
කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එවිට ඔවුන්ට සහනාධාර මත ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ධීවර කර්මාන්තයේ නියැළී සිටින ජනතාවට නව තාක්ෂණය හඳුන්වා දෙමින් මත්ස්‍ය අස්වැන්න වැඩි කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසනවා. මත්ස්‍ය අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමට අප කටයුතු කරනවා. ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය සහන ලබාදීමෙන් කර්මාන්ත ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. හැම අතින්ම මේ රට දියුණු වන රටක් කරනවා.
හිටපු ජනාධිපතිවරයා හදිසියේම මාධ්‍ය සාකච්ඡා කැඳවලා කියනවා, ඔහු සල්ලි වෙන් කළාලු පඩි වැඩි කරන්න. එක්කෝ පඩි වැඩි කරන්න ඕනෑලු, නැත්නම් ඒ සල්ලිවලට මොකද වුණේ කියා කියන්නලු. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා සෞඛ්‍යයට මුදල් වෙන් කෙරෙන්නේ සෞඛ්‍ය වැය ශීර්ෂය යටතේ. අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කෙරෙන්නේ අධ්‍යාපන වැය ශීර්ෂය යටතේ, එහෙම මුදල් වෙන් කිරීම් සිදු වන්නේ අය වැය ලේඛනයෙන්. එහෙම නැතිනම් පසුව ගේන අතුරු සම්මත ගිණුමක් හරහා අපට වැඩි කරගන්න පුළුවන්. හැබැයි හිටපු ජනාධිපතිවරයා කියනවා, ඔහු සල්ලි වෙන් කළා කියලා. හැබැයි කොතනකවත් එහෙම සල්ලි වෙන් කර නැහැ. තැපැල් ඡන්දයට පෙර කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් කිව්වා පඩි වැඩි කරනවා කියලා.
සල්ලි වෙන් කර තිබ්බේ නැහැ. හැබැයි හිටපු ජනාධිපතිවරයා සල්ලි වෙන් කළේ නැති වුණාට වත්මන් ආණ්ඩුව මහමැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ගැන අවධානය යොමු කර තිබෙනවා. දැන් පැරදුණා නම් ගෙදර ඉන්න. කොනිත්තන වැඩ නොකර ඉන්න. ඔවුන්ට අවශ්‍ය කුමන හෝ ප්‍රශ්නයක් හදන්න. ඔවුන් යළි බලය අත්පත් කර ගැනීමට විවිධ ගැටලු හදමින් සිටිනවා. එක කතාවක් තමයි අප මාස තුනෙන් හයෙන් වැටෙයි කියන එක. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වට්ටන්න හම්බවෙන්නේ නැහැ. ජාතික සමගිය ආරක්ෂා කරන රටක්. ජාතික ආරක්ෂාව සුරක්ෂිත රටක්. පරිසරයට ආදරය කරන ජනතාවක් සිටින රටක්. මේ හැම පැත්තෙන්ම දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. කාට හරි ඒක බලාගෙන ඉන්න බැරි නම් කෙඳිරි ගගා ඉන්න පුළුවන්.
ජාතික ජන බලවේගය ආණ්ඩුව ආවොත් විදෙස් සබඳතා නැතිවෙයි කිව්වා. මේ වන විටත් මුදල් අමාත්‍යාංශ නිලධාරින් එක්සත් ජනපදයට ගිහින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. සාකච්ඡා කරනවා කොහොමද සහනදායී වැඩසටහනක් සකස් කරගන්නේ කියලා. ලෝකය පුරා ජාත්‍යන්තර සබඳතා අප ශක්තිමත් කර තිබෙනවා. හැම රටකම ගෞරවයට ලක්වන පාලනයක් අප ඇති කරමින් තිබෙනවා. අද මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් බවට පරිවර්තනය වී තිබෙනවා. ජනතාවගේ විශ්වාසය දිනපතා එකතු කරගන්නා ආණ්ඩුව බවට පත්ව තිබෙනවා. එය තමයි මේ ආණ්ඩුව ඉදිරියට යන මාවත කියා අප විශ්වාස කරනවා. ඒ සඳහා හොඳ බලයක් මේ නොවැම්බර් 14 වැනිදා අපට දෙන්න. ඡන්දයට පසුව එකතු වීමක් නැහැ. එකතු වන සියලු දෙනා ඡන්දයට පෙර එක්විය යුතුයි. මම කියන්නේ ජනතාවට නොවෙයි දේශපාලන පක්ෂවලට.
අනාගතයේ රට පාලනය කරන්නේ මේ දේශපාලන ව්‍යාපාරය මිස එහෙන් මෙහෙන් එකතු කරගන්නා පිරිස නොවන බවට මම ඔබට සහතික වෙනවා.