ඉදිරි මහමැතිවරණයේ දී මාලිමාවේ වැඩිම පිරිස පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස බවට පත් කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (24) පස්වරුවේ පුත්තලමේ දී ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන රැලියකට සහභාගි වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙනවා. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ඉතා ටික කාලයකින් මේ මැතිවරණය පැවැත්වෙනවා. මේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයට විශාල ජයක් ලබා දුන්නා. ආසන ගණනාවක් අප ජයග්‍රහණය කළා. අද මේ රැස්ව සිටින ජනගඟ දෙස බැලු වැටි නොවැම්බර් මස 14 වැනිදාත් ආසන සියල්ල ජයග්‍රහණය කරන බව අපට පැහැදිලියි. එපමණක් නොවෙයි පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මේ වේදිකාවේ සිටින සහෝදර සහෝදරියන් ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ඉතා පැහැදිලියි.
අපි කවුරුත් දන්නවා මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ එක් එක් කාලයට බලයට පත්වූ මන්ත්‍රීවරු එක් එක් විදියට ප්‍රසිද්ධයි. හැමදාම මේ පුත්තලම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු හදනවා. නමුත් ඔවුන් ජනතාව පීඩාවට පත් කරන අයයි. එහෙම නැතිනම් ඉස්සන් කොටු හදන අයයි. ගම්වලට තිබෙන ඉඩම් අල්ලා ගන්නා අයයි. එහෙමත් නැතිනම් සිමෙන්ති කම්හලෙන් කප්පම් ලබා ගන්න අය. එහෙම නැතිනම් රත්තරන් ගෙනල්ලා අහුවෙන අය. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අය.
මම ඔබලාගෙන් අහන්නේ ඒ ඉතිහාසය වෙනස් කරන්න අවශ්‍ය නැද්ද? පරණ, ජනතාවට පීඩාවට පත් කරන මන්ත්‍රීවරු වෙනුවට ජනතාව සමඟ උරින් උර ගැටී ජනතාවගේ වැඩ කටයුතු කරන නව දේශපාලන සංස්කෘතියක් නොවැම්බර් මස 14 වනදා මේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කළ යුතුයි. එම කණ්ඩායම තමයි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර තිබෙන කණ්ඩායම.
පහුගිය දවස්වල හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනාවා. බාල බෙහෙත් ගෙනත්, දරුවන්ගේ ඇස් අන්ධ වුණා. බාල බෙහෙත් ගෙනත් දරුවන් මියැදුණා. බාල බෙහෙත්වලින් රෝගීන් සුවපත් වෙනවා වෙනුවට රෝගින්ගේ ලෙඩ වැඩි වුණා. පාර්ලිමේන්තුවේ ඒ සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවා. ජනතාව දන්නවා ඔහු බාල බෙහෙත් මංකොල්ලයට සම්බන්ධ වී සිටින කෙනෙක් කියලා. හැබැයි පාර්ලිමේන්තුව මොකද කළේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඖෂධවලින් හොරකම් කළ ඇමැතිවරයා ආරක්ෂා කර ගැනීමට අත ඉස්සුවා. ඒ නිසා පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාවගේ විරෝධයක් තිබෙනවා.
අපි ඔබට ආරාධනා කරන්නේ මේ තත්ත්වය වෙනස් කර පාර්ලිමේන්තුව සුද්ධ කිරීමේ මහා ශ්‍රමදානයට නොවැම්බර් 14 වැනිදා එක්වන ලෙසයි. අප මේ පාර්ලිමේන්තුව පිරිසුදු කළ යුතුයි.
මාලිමාවේ වැඩිම පිරිස මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස බවට පත් කරන්න ඕනෑ. එතැන සිටින සැම දෙනාම අදූෂිත අය බවට අපි ඔබට සහතික වෙනවා. මේ හැම දෙනාම අවංක අයයි. මේ හැම දෙනාම ජනතාවගේ මුදල් සතයක්වත් නාස්ති නොකරන අයයිද පැවසීය.