කූරගල විහාරස්ථානය සම්බන්ධව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ දෙකක් සිදු කිරීමෙන් ආගමික සංහිඳියාවට බාධා කිරීමේ චෝදනා දෙකකට තමන් වරදකරු බවට තීන්දු කරමින් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම බලරහිත කරන ලෙස ඉල්ලා බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා පෙත්සමක් ලබන වසරේ අප්‍රේල් මස 03 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (25) දින නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර සහ ගිහාන් කුලතුංග යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ මෙම නියමය කරන ලදි. එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී විත්තිකාර අභියාචක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව විනිසුරු මඬුල්ල දින නියමය සිදු කරන ලදි.
මාධ්‍ය හමුවක් පවත්වමින් 2016 වසරේ නොවැම්බර් 01 සහ දෙසැම්බර් 16 වැනි අතර කාලයේ දිනයකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීම මඟින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටයුතු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අසාත් සාලි යන මහත්වරු විසින් පැමිණිලි කර තිබුණි. එම පැමිල්ලකට අනුව අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කෝළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.
ආගමික සමගිය කඩ කිරීමේ චෝදනා දෙකකට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ 291 (b) වන වගන්තිය අනුව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණි. එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ඉකුත් මාර්තු මස 28 වැනිදා ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදීත්‍ය පටබැඳිගේ මහතා තීරණය කළේ විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවය. එසේම එම ප්‍රකාශය සිතාමතාම සිදු කර ඇති බව නඩු විභාගයේදී පෙනී යන බවත් එය අහම්බයකින් කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය නොහැකි බවට විනිසුරුවරයා තීරණය කළේය.
ඒ අනුව අදාළ චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු බවට තීරණය කර එක් එක් චෝදනාවට වසර දෙක බැගින් වසර හතරක සිරදඬුවම් නියම විය. එසේම එක් එක් චෝදනාවට රුපියල් පනස්දහස බැගින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියෝග කරන ලදි. එම දඩ මුදල් ගෙවීම පැහැරහරින්නේ නම් ඒ වෙනුවෙන් තවත් වසර දෙකක සිරදඬුවමක් ද නියම කෙරිණ.
එම නඩු තීන්දුව නීතියට පටහැණි බැවින් එය බලරහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ඉල්ලීමක් කරන ලදි. එම ඇප ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව මෙම ප්රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.