2015 ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් 990,000ක මුදලක් වැය කර ජී.අයි. බට මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කර හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනකුට එරෙහි පවරා ඇති නඩුවේ අධිචෝදනා මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කියවා පහදා දෙන ලදි.
නීතිපතිවරයා ගොනුකර ඇති චෝදනා 4ටම නිවැරැදිකරුවන් බව විත්තිකරුවන් කියා සිටින ලදි. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂි කැඳවීමට නියම කළේය.
2015 වසරේ සිට රූපවාහිනී සංස්ථාවේ අලෙවි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ සනත් ප්‍රියන්ත දළුවත්ත මහතා සාක්ෂි දුන්නේය.
2014 වසරේ නොවැම්බර් 25 වැනි දා හෝ ඊට ආසන්න දිනෙක ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් රූපවාහිනී සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක එහි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා යැයි කියමින් රුපියල් 9,90,000ක මුදලක් වැය කර රූපවාහිනී සංස්ථාවට ජී.අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදුකිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම යටතේ අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට චෝදනා කර අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.
අල්ලස් හා දූෂණ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා 4ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. අධිචෝදනා පත්‍රයේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 26 දෙනකු හා ලේඛන 17ක් සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබේ.
රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්වරු මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වේ. අල්ලස් හෝ දූෂණ කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.