අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් සිරදඬුවම් නියම කිරීමෙන් අනතුරුව වසර හතකට ප්‍රජා අයිතිය අහෝසි වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් කර ඇති නාමයෝජනාව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මැතිවරණයට තරග කිරීමට තමන් නුසුදුසු බව දැන දැනම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම මඟින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරග කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
මෙවර මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන කැලණිය වනවාසල පදිංචි මහින්ද සේනානායක මහතා නීතිඥ සම්පත් විජේවර්ධන මහතා මඟින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ‘එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ’ නමැති දේශපාලන පක්ෂයෙන් තරග වැදීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා පත්‍ර භාරදී ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කොට 2022 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වසර 4 සිරදඬුවමක් රන්ජන් රාමනායක මහතාට නියම කළ බව පෙත්සමෙහි සඳහන් වේ. අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට ජනාධිපති සමාව ලබාදීමෙන් අනතුරුව නිදහස් කරන ලදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)අ 90 සහ 89( ඇ) වගන්තීන් අනුව සිරදඬුවම් ලැබූවෙකුගේ ප්‍රජා අයිතිය වසර 7කට අහිමි වන බව පෙත්සම්කරු විසින් පෙන්වාදී ඇත. ඒ අනුව 2022 ජනවාරි 12 සිට 2028 ජනවාරි 12 දක්වාම රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසිව ඇත. එබැවින් එම කාලය තුළ මැතිවරණයක් සඳහා නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කිරීමට හෝ තරග කිරීමට හෝ ඔහුට අයිතිවාසිකම් නොමැති බව පෙත්සමෙහි සඳහන් වේ.
වසර හතක සිය ප්‍රජා අයිති තහනම වසර දෙක දක්වා අඩු කරන ලෙස රන්ජන් රාමනායක මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව පෙත්සම මඟින් පෙන්වාදී ඇත. මෙම ඉල්ලීමට මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවද එහි දැක්වේ. එසේ තිබියදී ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදීම සඳහා ‘එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ’ නමැති දේශපාලන පක්ෂයෙන් රන්ජන් රාමනායක මහතා විසින් නාමයෝජනා භාරදී ඇති බව පෙත්සම් කරු විසින් පෙන්වා දී ඇත.
ඔහුගේ නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් අපේක්ෂකයන් කීපදෙනෙක් විරෝධත්වය ප්‍රකාශ කර ඇති බව ද පෙත්සමෙහි සඳහන් වේ. තමන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු බව තමන් දැන දැනම රාමනායක මෙසේ නාම යෝජනා පත්‍ර භාර දීම මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන බවට පෙත්සම්කරු පැමිණිලි කර සිටී. එසේම තේරීම් භාර නිලධාරීවරයා සහ ඡන්ද දායකයින් නොමඟ යවමින් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට ඔහු විසින් නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කර ඇති බව පෙත්සම මඟින් පෙන්වාදී තිබේ.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී රන්ජන් රාමනායක මහතාගේ නාම යෝජනාව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. එසේම රන්ජන් රාමනායක මහතාට මෙවර මහමැතිවරණයට තරග කිරිම වළකාලන අතුරු නියෝගය නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.