මැගසින් බන්ධනාගාරයේ සිටින රුඳවූවකුට ලබා දීමට ගෙනා ඌරු මස් ව්‍යංජනයක දමා තිබූ කුකුළු මස් කටු තුනක් තුළ සූක්ෂ්ම අයුරින් සඟවා තිබූ මත්ද්‍රව්‍ය පැකට් 08ක් සොයා ගැනීමට බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්රමික බළකා නිලධාරීන් පෙරේදා (24) සමත්වී තිබේ.
කෝට්ටේ ප්‍රදේශයේ කාන්තාවක පෙරේදා (24) මෙම බන්ධනාගාරයේ සිටින රැඳවූවකු බැලීමට පැමිණ ඇති අතර ඔහුට ලබා දීමට ඌරු මස් ව්‍යංජනයක් රැගෙන විත් තිබේ. මෙම ව්‍යංජනය තුළ කුකුළු මස් කැබලි කීපයක් සහ කුකුළු මස් කටු කීපයක්ද තිබීම නිසා සැක මතුකළ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්රමික බළකා නිලධාරීන් ඒවා දැඩි සෝදිසියකට ලක් කර ඇත.
එහිදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්රමික බළකායේ නියාමකවරුන් වන ආර්.එම්.එන්.පී. රත්නායක, කේ.ඩී.ජී. එරන්ද මහත්වරුන්ට මෙම ව්‍යංජනයේ කුකුළු මස් කටු තුනක් තුළ සූක්ෂ්ම අයුරින් සඟවන ලද සුදු පැහැති දවටනවලින් ආවරණය කළ යමක් ඇති බව පෙනී ගොස් ඇති අතර වැඩිදුර පරීක්ෂාවේදී හෙරොයින් මත්ද්‍රව්‍ය යැයි සැකකළ හැකි කුඩා පැකට් 02ක් හා අයිස් මත්ද්‍රව්‍ය ලෙස සැකකළ හැකි පැකට් 01ක් ඒ තුළින් හමුවී තිබේ. අයිස් මත්ද්‍රව්‍ය ලෙස සැකකළ හැකි පැකට්ටුව කඩා බැලීමේදී නිරීක්ෂණය වී ඇත්තේ කුඩා ලෙස සැකසූ හෙරොයින් යැයි සැකකළ හැකි තවත් පැකට් 05ක් කඩදාසියක් තුළ ආවරණය කර ඇති බවයි.
මෙහිදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය හා සැකකාර කාන්තාව මැගසින් බන්ධනාගාර අධිකාරි සුභාෂ් උපුල්දෙණිය මහතාගේ උපදෙස් පරිදි බොරැල්ල පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදීමට කටයුතු සිදුකර ඇත.