වරෙන්තුකාර පිය පුතු දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට, තියුණු ආයුධවලින් හා ගල් මුගුරුවලින් පහරදී තුවාල කර එම වරෙන්තුකරුවන් දෙදෙනා මුදා ගත් කාන්තාවන් තුන් දෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බව ඔයාමඩුව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු පළමුව ඇලයාපත්තුව රෝහලටත් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා, අනුරාධපුර ශික්ෂණ රෝහලටත් මාරු කර යවා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔයාමඩුව වන්නිහැලඹෑව, වැල්මල්ගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 39 සහ 40 වියේ පසුවන කාන්තාවන් දෙදෙනකු සහ සිද්ධියේ ප්රධාන සැකකරුගේ 14 හැවිරිදි දියණිය බව පොලිසිය කියයි.
අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව ඔයාමඩුව, වැල්මල්ගම, ප්රදේශයේ පියකු සහ පුත්රයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම ප්රහාරය එල්ල වූ බව ද පොලිසිය පවසයි.
මෙහිදී ප්රධාන වරෙන්තුකරු සහ ඔහුගේ පවුලේ ඥාතී කාන්තාවන් පිරිසක් විසින් උදැල්ලකින්, පොරවකින් සහ ගල් මුගුරුවලින් පොලිස් නිලධාරීන්ට පහරදී මෙලෙස තුවාල කර ඇති අතර, එම අවස්ථාවේදී වැටලීම් භාර නිලධාරියා වන උප පොලිස් පරීක්ෂක ජයවික්රම මහතා අමතර පොලිස් කණ්ඩායමක් ගෙන්වාගෙන තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා රෝහල් ගතකළ බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් තිදෙනා අයුතු ජනරාශීව සිටිමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාවට අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් සැකකාරියන් දෙදෙනකු, මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තවත් සැකකාරියක ඇප මත මුදා හැරි බවත් පොලිසිය පවසයි.