නිධානයකින් ගන්නට ඇතැයි කියන ග්‍රැම්ස් 720ක් බරැති රන් පැහැති අඹ ගෙඩියක හැඩැති පෞරාණික නිර්මාණයක් රුපියල් ලක්ෂ දහයකට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ දූෂණ මර්දන අංශය පවසයි.
මාතලේ කොට්ඨාස අපරාධ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට පත් වූයේ, මාතලේ පළාපත්වෙල, නිල්අරඹ වෙන්දේසි ඉඩම් කොටසේ පදිංචි පුද්ගලයෙකි. මෙම රන් පැහැති අඹ ගෙඩිය උසින් සෙන්ටිමීටර් 13ක්ද, බර ග්‍රැම්ස් 720 ක්ද, පළල අඟල් දෙකක් පමණ වන අතර, මුදුනත ස්වස්තික සලකුණද නෙළුම් මලක පෙති තුනක්ද, එහි මුදුනත කපා ඉවත් කර ඇති සලකුණක්ද දක්නට ඇතැයි පොලිසිය කියයි.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම රන් පැහැති අඹ ගෙඩියක හැඩය ඇති නිර්මාණය රුපියල් ලක්ෂ දහයකට අළෙවි කිරීමට ළඟ තබාගෙන සිටි බවත් මෙම භාණ්ඩය ඇලහැර ප්රදේශයෙන් ලැබුණු එකක් බවටත් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙය ඇලහැර ප්රදේශයේ අයකු තමන්ට ලබාදුන්නත් තමන් එම පුද්ගලයා හඳුනන්නේ නැති බවට සැකකරු ප්‍රකාශ කරන බවද පොලිසිය කියයි.
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.