ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් අපවත් වී හෙටට (27) වසර තුනක් සපිරීම නිමිත්තෙනි.
ව්‍යවහාර වර්ෂ 1937 පෙබරවාරි 20 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දේවමැදි හත්පත්තුවේ, දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ, නාරම්මල, වැලමිටියාව ග්‍රාමයෙහි පලිහවඩන ආරච්චිගේ ජෝන්සිඤ්ඤෝ සහ රත්නායක මුදියන්සේලාගේ ගුණමල් එතනා යන පින්වත් මවුයන්ට දාව, සොහොයුරු සොහොයුරියන් සත්දෙනකු සහිත පවුලේ සිව්වැනි දරුවා ලෙස උපත ලැබූ පලිහවඩන ආරච්චිගේ ටිකිරිබණ්ඩා නම් වූ පින්වත් කුල කුමරා, හුරුග්ගමුව විහාරාධිපතිව වැඩ සිටි හුරුග්ගමුවේ ගුණරතන හිමියන්ගේ අවසරය පරිදි, විද්‍යාලංකාර පිරිවෙනේ අධ්යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් විසින් තත් පිරිවෙනට කැඳවාගෙන එනු ලැබීය. ඉක්බිති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්රඥාසාර නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1954 ජනවාරි 7 දින විද්‍යාලංකාර පිරිවෙනේදී වැලමිටියාවේ කුසලධම්ම නමින් ප්‍රවෘජ්‍යාභූමියට පත් උන් වහන්සේ 1959 මැයි 23 දා අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්රඥාසාර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, නාත්තන්ඩියේ ශ්‍රී ප්රඥාකර, කොටහේනේ ප්‍රඥාකීර්ති, බඹරැන්දේ සිරි සීවලී, වල්පොල රාහුල ආදි මහායතීන්ද්රයන් වහන්සේගේ සෙවණෙහි ශිල්ප ශාස්ත්‍ර මැනවින් හැදෑරූහ. අනතුරුව 60 දශකයේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ පන්ති සාමර්ථ්‍යය සහිත ගෞරව උපාධියද හිමි කරගත්හ.
වර්ෂ 1963 වර්ෂයේදී ස්වකීය ධර්ම ශාස්ත්‍රීය සේවය පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනින් ආරම්භ කොට, එහි අධ්යක්ෂ, උපපරිවේණාධිපති හා පරිවේණාධිපති ධුර දරමින් දිවා රෑ වෙහෙසෙමින් සියලු වගකීම් නොපිරිහෙළා සිදු කළ කුසලධම්ම හිමියෝ 1983 වර්ෂයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ උපපරිවේණාධිපති හා අධ්යක්ෂ ධුරයට පත්ව පසුව 1990දී විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට පත් වූහ. එතැන් පටන් ස්වකීය ජීවිතයත් විද්‍යාලංකාර පිරිවෙනත් දෙකක් නොව එකක් ලෙස සලකා රටට ජාතියට ආගම දහමට මෙන්ම භාෂා ශාස්ත්රාදියටද ඒ ආයතනයෙන් මුළු මහත් ලෝකයාම අපේක්‍ෂා කරන සේවය හැකි සෑම ලෙසකින්ම ඉටු කර දීමට මහත් කැපවීමක් කළහ. මේ සත්කාර්යය අගයනු වස් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය, දර්ශන විශාරද, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහා සද්ධම්මජෝතික ධජ, සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, පර්යාප්ති ශාසන ද්වජාග්‍ර, සද්ධර්මකීර්ති ශ්‍රී ශාසන ශිරෝමණී, ශ්‍රී සුමංගල විද්‍යාවතංස ආදි බොහෝ ගෞරව සම්මාන උපාධි උන් වහන්සේ වෙත පිරිනමා ඇත.
වර්තමාන සමාජයේ ලොකු කුඩා කිසිවකුට උන් වහන්සේ පිළිබඳ අමුතුවෙන් තවත් විස්තර විභාග කිව යුතු නොවේ. ඒ තරමටම උන් වහන්සේ සමාජයෙහි සුජීවත්ව, සිනාමුසු මුහුණින්, නිර්ව්‍යාජ කතාබසින් හා සරල චාම් දිවිපෙවෙතකින් ජන හදවත් දිනාගෙන සිටි මහා යතිවරයාණන් වහන්සේ නමකි. නිකාය භේදයකින් තොරව වර්තමාන සමස්ත භික්ෂු සංඝයා කවුරුත් ගෞරවාදර දැක්වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.
අදට වසර තුනකට පෙර අපවත් වූ වැලමිටියාවේ නායක ස්වාමීන්ද්රයන්වහන්සේද විද්‍යාලඞ්කාර නාමය වර්තමාන සමාජය තුළ නිධන් කළ මහා සංඝපිතෘවරයාණන් වහන්සේ නමකි. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ නියමය වූ ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං…’ (මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන්ට අර්ථය පිණිස හිත සුව පිණිස චාරිකාවේ හැසිරෙන්න) යන බුදුවදන පෙරදැරිව අතීත විද්‍යාලංකාර සම්ප්රදාය මෙන්ම ගමන් මඟ නිවැරදිව වටහාගනිමින් එය ආරක්ෂා කරගෙන ඉදිරියට පවත්වාගෙන යමින් ස්වකීය ජීවිතයත් පිරිවෙනත් දෙකක් නොව එකක් කොට සලකා කටයුතු කළහ.
උන් වහන්සේ තුළ පැවති ගුරු ගෞරවය, නිහතමානිත්වය, නිරහංකාර බව, සිනාමුසු වදනින් ආමන්ත්‍රණය, ලද දෙයින් සතුටු වීම, ලාභ සත්කාර හමුවේ උඩඟු නොවීම, තනතුරු හඹා නොයෑම, පරිත්‍යාගය, වැඩිහිටියන්ට සැලකීම, තුනුරුවන් කෙරෙහි පැවති විශ්වාසය, කළගුණ සැලකීම ආදි ගුණාංග කැපීපෙනිණි. එහෙයින් ඒ උදාර යතිවර චරිතය කියවීම අපේ අනාගත භික්ෂු පරපුරට මෙන්ම පැවිදි ගිහි සැමටත් මහෝපකාරි වනු ඇත.
අප මාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනය කරමු.
උඩගලදෙණියේ ධම්මවිමල හිමි
භාරතියාර් විශ්වවිද්‍යාලයේදීය