වැලේ එල්ලී වනාන්තරයේ සැරි සරන ටාසන් අප සියලු දෙනාගේ ළමා ලෝකයේ වීර ලැයිස්තුවේ සිටියේය. එම චරිතය සඳහා පණ දුන් අමෙරිකානු නළු රොන් එලී මෙලොව හැර ගොස් තිබේ. එය මනුෂ්‍ය ස්වභාවයය. ටාසන් පිළිබඳ මතකය අප මියෙන තුරා ඇත්තේ හෙයින් එවන් රංගනයක් ඉදිරිපත් කළ ඔහුට සුවබර නින්දක් ප්‍රාර්ථනා කරමින් මේ තීරුව ඉදිරියට යන්නේය. ටාසන් යන්නේ වැල් දිගේ හෙයින් එම රූපවාහිනී මාලා නාටකය විකාශය වන සමයේ, බොහෝ ළමෝ නිෙවසේ වැල් පදින්නට වූහ. සමහරෙක් නිෙවස අසල ගසක වැලක් ගැට ගසා, බංකුවක් තබාගෙන මීටරයක් දෙකක් පමණ උඩින් ගියහ. තව සමහරෙක් වැල කඩාගෙන වැටී ඉස්පිරිතාලයට ගියහ. ඔය ආකාරයට වැලේ යෑමට ගොස් අමාරුවේ වැටුණු කාණ්ඩය වූ හෙයින්, කලක් යන විට වැල් පැදීම ගෙදරින් තහනම් විය.
මේ පසුතලයේ සිට අද මාතෘකාව සඳහා පිවිසීමට දිනමිණ කැමැතිය. දේශපාලන වශයෙන් වැලේ වැල් නැති වූ පිරිස් ගණනාවක් මේ සමයේ ඇත්තේය. ඒ නව ආණ්ඩුවක් බලයට ඒම නිසා පමණක් නොවේ. ජනතාවට පරණ තාලය එපා වී ඇති නිසා ද නොවේ. එම දේශපාලන ව්‍යාපාරයන්හි ස්වරූපයේ අවුල ද ඒ සඳහා බලපා ඇත්තේය.
මේ රටේ පක්ෂ යනු අටුවම් බැස ඇති ගතිකයකි. අටුවේ බොහෝ කලක් තබන ලද යමක් එහිම වියළී යන්නේය. අටුකොස් පරිදි ඒවා ගල්ගෙඩි සේ කිසිදු මෙලෙකක් නොමැති හෙයින් පාවිච්චියට ගැනීම අපහසු වන්නේය. මේ නිසා යමක් අටුවම් බහිනවා යනු එහි වෙනස් වන ස්වභාවය අඩු බවය. එවන් ස්වභාවයක් දේශපාලන ව්‍යාපාරයක් සඳහා නොහොබිය. ජනතා වුවමනා, අපේක්ෂා යනු කාලයෙන් කාලයට වෙනස් වන්නේය. ඒ සඳහා වෙනස් විය නොහැකි අටුවම් බැස ඇති දේශපාලන ව්‍යාපාර ජනතා මනසින් බැස යෑම නවත්වාලිය නොහැකිය.
දේශපාලන පක්ෂ වනාහි ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා වූ අත්‍යවශ්‍ය යන්ත්‍රණයකි. පක්ෂ ක්‍රමය නොමැතිව නියෝජිත ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කළ නොහැකිය. එසේම පක්ෂ ක්‍රමයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය නොමැති වීම ද බොහෝ විට දකින්නට ලැබේ. මේ ආදී කාරණා සංගෘහිත වූ අටුවම් බසින ලද දේශපාලන ව්‍යාපාර ගණනාවක් පසුගිය මැතිවරණයෙන් පසු අතුරුදන්වූවන්ගේ ලිස්ට් එකේ රැඳී ඇත්තේය.
පුද්ගල ආදී වශයෙන් ද එසේය. දේශපාලනයේ පරසිඳු බොහෝ චරිත මෙවර මැතිවරණයේදී පසෙකට වී ඇත්තේය. සමහරු විශ්‍රාම ගත්තේය. මෙවන් වටපිටාවක් නිර්මාණය වන්නේ ස්ව කැමැත්ත පරිදි නොවේ. එහෙයින් එවන් පරිසරයක් සඳහා පිටිය සැකසුණු ආකාරය දේශපාලන වේදිකාවේ සැවොම පුනරීක්ෂණය කළ යුත්තේය. ජනතාව වහල් ආකාරයේ තබාගෙන මේ ගමන යා නොහැකි බව දැන්වත් තේරුම්ගත යුත්තේය. තම තමන්ගේ මුහුණත් තහඩුව, කැඩපතින් උදේ හවා බලනවා සේ ජනයා වෙත එය පැය විසිහතරේම දැකීමේ වුවමනාවක් ඇති බව සිතන දේශපාලන සත්ත්වයා, ලැබෙන හැම ඉඩක්ම ඒ සඳහා භවිත කරන්නේය. සැමරුම්, පීත්ත පටි කැපීම් ආදියේ සිට ඒ සඳහාම යොමු වන්නේය. පළමුව නිරීක්ෂණ චාරිකා දෙක තුනක් යන්නේය. ව්‍යාපෘතිය පිළිබඳව වූ සාකච්ඡා ගණනාවකි. ඒ පිළිබඳව පබ්ලිසිටි ලබාදීමෙන් පසු, මුල්ගල තබන දිනය ද උත්සවාකාරයෙන් නිවේදනය කරන්නේය. මුල්ගල තැබීම පිළිබඳව අපගේ කනට, ඇසට එපා වීමෙන් පසු ඒ සඳහා දිනය එළඹෙන්නේය. කාඩ් ගසා, වටේට බෙදා, පාර අද්දර යෝධ පුවරු ඉදිකරවා, සිය වියදමෙන් සිදු කරන දානමය පුණ්‍යකර්මයක් සේ වැඩේ ඉදිරියට ගන්නේය. මේ මුල්ගල තබන තෙක් කතාව පමණය. ඉදිකිරීම යන අතරමඟ විටින් විටේ අදියර එක දෙක ආදී වශයෙන් ද සැමරුම් කරන්නේය. මැද හරියෙන් නිරීක්ෂණ චාරිකා යන්නේය. ඔය ආකාරයෙන් වැඩේ කෙරෙනවා දැයි බැලීම අනගිය. ඒත් මේ සියල්ල සිදු කරන්නේ ජනතා බදු මුදලෙන් සිදු කළ සේවාව සඳහා සිය නම කොටා ගැනීමටය. එසේම මහා වැඩකාරයෙක් ලෙස රටේ නම ප්‍රචලිත කර ගැනීම පිණිසය.
පෙරේදා මාතර හෙද විදුහල සඳහා රුපියල් මිලියන 167ක වියදමින්, පරිපූර්ණ සිව්මහල් දේශන ශාලා සංකීර්ණයක් විවෘත කළේය. එම ශාලාව විවෘත කරන ලද්දේ එහිම වූ හෙද නිලධාරින් ප්‍රමුඛ පිරිසකි. උත්සව, සමරු ඵලකවලින් තොර විවෘත කිරීම් සිදු කරන අලුත් සංස්කෘතියක් සෞඛ්‍ය සේවාව තුළ ඇති කර තිබෙන බව එහිදී ආදර්ශයෙන්ම පෙන්වා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ තීරුවේ ආචාරය හිමි වන්නේය.
මේ ආදී කාරණා රාශියක් නූතන ජනයාගේ දේශපාලන කැමත්ත දිනා ගැනීම පිණිස අවශ්‍ය බව දැන්වත් වටහාගත යුතු පිරිස, තවමත් කරන්නේ කොහේ හෝ වැලක් බලා එල්ලීමය.
ටාසන් චරිතය රඟපාන ලද රොන් එලී අපෙන් සමුගෙන ගියේ වුවද මෙහි සිටිනා පිරිසක් එම චරිතය තවම රඟපාන්නේය. පාස්කු දා ප්‍රහාරය, ආරුගම්බොක්කේ සිද්ධිය ආදිය අල්ලාගෙන ඒ ආකාරයට වැල් පදින පිරිස දෙස බලා ටාසන් චරිතය කවුදැයි පටලවා නොගන්නා ලෙස මේ තීරුව ජනයාගෙන් ඉල්ලා සිටීමට කැමතිය. කුඩා ළමෝ ටාසන් අනුකරණය සඳහා ගොස් සිදු කර ගන්නා අකරතැබ්බ පොදියම ඒ මහතුන් ද සිදු කර ගන්නේ හෙයින්, ඒ දෙස බලා අනේ අපොයි කියනවාට වඩා සිනාසීම යහපත් බව අපගේ හැඟීමය.