නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (25) මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තාන සහීන්ස් ‘ඒ’ කණ්ඩායම අතර ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව ජයග්‍රහණ දෙකක් සමඟින් ප්‍රසාද ලකුණු 4ක් (0.833) ලබා පළමු ස්ථානයෙන් මේ තරගයට එක් වූ අතර, පාකිස්තානය ද ජයග්‍රහණ දෙකක් සමඟ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් (3.017) මේ තරගයට එක් විය.
පසුගිය වසරේ පැවති තරගාවලියේදීත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පළමු අවසන් පූර්ව තරගයට එක් වූ අතර, එම තරගය ජයගත් පාකිස්තානය එවර ශූරතාව දිනා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් අතර ඉදිරියෙන් සිටී. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට දුෂාන් හේමන්ත සමත්ව ඇත්තේ තරග 3කදී කඩුලු 10ක් බිඳ දමමිනි. පාකිස්තානය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගෙන ඇති ෂානාවාස් දහානි කඩුලු 6ක් සමඟ පසුවන්නේ පන්දු යවන්නන් අතර 5 වැනි ස්ථානයේයි. කාසිම් අක්‍රම් ලකුණු 98ක් සමඟ පිතිකරුවන් අතර 6 වැනි තැන රැඳෙද්දී ශ්‍රී ලංකා ‘ඒ’ නායක නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 95ක්, යශෝධ ලංකා ලකුණු 94ක් රැස් කර තිබේ.
තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද රාත්‍රී 7.00ට පැවැත්වෙන්නේ අපරාජිත ඉන්දීය ‘ඒ’ පිල සහ ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අතරය. මේ තරග ද්විත්වයේ ජයග්‍රාහකයෝ ලබන ඉරිදා (27) රාත්‍රී 7.00ට අවසන් මහා තරගයට එක් වීමට නියමිතය.