Home » වනඅලින්ට බියේ දිවි ගෙවන තඹුත්තේගම ජනතාවගේ දුක් අ‍ඳෝනාව

වනඅලින්ට බියේ දිවි ගෙවන තඹුත්තේගම ජනතාවගේ දුක් අ‍ඳෝනාව

by mahesh
October 25, 2024 1:00 am 0 comment

තඹුත්තේගම - සී.එම්. ආරියපාල

වනඅලින්ටම ගම් පළාත භාර දීලා වෙනත් පළාතකට අපට යෑමට සිදුවී ඇතැයි තඹුත්තේගම කෝන්වැව, දඹුලුපුර, රාජපක්ෂගම ප්‍රදේශවාසීහු පවසති.

මෑත භාගයේ ඉහත ගම්වලට රාත්‍රී කාලයේ වනඅලි පැමිණ නිවාසවලට පහරදී ජනතාවගේ කෑමට ගබඩා කර තිබූ වී මිටි ගණන් විනාශ කර දමන බවට ජනතාව පවසයි. ඊට අමතරව මෙම වනඅලින් පැමිණ ගොවි ජනතාවගේ ගෙවතුවල වගා කොට ඇති පොල්, කෙසෙල් ආදී භෝගයන්ටද විනාශ කර දමා දුක් මහන්සිවී පදිංචියට සාදාගත් ගෙවල් දොරවල්ද කඩා බිඳ දමා ඇති බවට වාර්තා විය. මෙසේ කෙසෙල් වගාවක් විනාශ කර දැමූ ගොවි මහතකු වන තඹුත්තේගම අංක 107 කෝන්වැව නිවෙසෙහි පදිංචි එම්.ආර්. සංජීව විජේසිංහ මහතා තම දුක්බර කතාව පැවැසූවේ මේ ආකාරයටයි.

“කෙසෙල් වගාවෙන් මාසයකට රුපියල් 10000 පමණ ආදායමක් උපයා ගන්නවා.

මෙම මුදලින් තමයි මම ජීවත් වන්නේ. පසුගිය 16 වැනිදා රාත්‍රී කාලයෙදී අලි රංචුවක් අපගේ ගෙවත්තට පැමිණ වගා කොට තිබූ කෙසෙල් කොටුව විනාශ කර දැම්මා. එහි අලාභය රුපියල් 50000 පමණ වෙනවා.

වනඅලි රැල නිතර අපගේ ගම්වලට වැද ගම්මුන්ගේ ගෙවල් දොරවල් කඩා අලාභහානි කරනවා.

ගෙවල්වල කෑමට වී ගබඩා කර තිබීම නිසා ගෙවල් කඩා අලින් පැමිණ වී බොන නිසා ජීවිත විනාශ කරන බියට මෙම ගොවීන් තම නිවාසවල තියාගන්න වී ටික විකුණා දමනවා.

වනඅලින් පැන්නීමට වනජීවී කාර්යාලයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ.

දැනට අපේ ගම්මානවල මිනිසුන් දෙදෙනෙක් වනඅලින් මරා දමලා තිබෙනවා.

අලින් පන්නා දැමීමට රජය මගින් මෙතෙක් ස්ථිර වැඩපිළිවළක් ගෙන නෑ.

ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT