ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණය සියලු දෙනාටම භුක්ති විඳීමට නම් මහ මැතිවරණය ද ජයග්‍රහණය කළ යුතු බවත්, එනිසා ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් අයගේ සහාය ද මහ මැතිවරණයට ලබාගත යුතු බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, බියගම ප්‍රධාන සංවිධායක, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ආචාර්ය අසෝක රන්වල මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඉකුත්දා (22) බියගම නිදහස් වෙළෙඳ කලාපය අසල පැවැති ජන හමුවකදීය.
මල්වානේ වල්ගම – බටහිර ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාවෙන් මෙය සංවිධාන කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“වසර 76ක් පුරා මේ රටේ ජනාධිපතිවරුන් සහ ආණ්ඩු හැදුවේ ධන බලයට සහ පවුල් බලයට ජනතාව රවටලා. ඒ නායකයන් අපව ජාති, ආගම්, දේශපාලන, පක්ෂ වශයෙන් බෙදලා තිබුණා. ඉතින් අපි ඇනකොටා ගත්තා. ඔවුන් කළේ රජයට ලැබෙන බදු මුදල, රටට එන ඩොලර් ටික සොරකම් කරනවා. ඒවායින් ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගත කළා.
මෙවැනි පසුබිමක් තුළ රටේ වෙනසක් ඕනෙ කියලා ජනතාව සිතන්න පටන් ගත්තා. ජනතාව පැතූ ඒ වෙනස ලේ වැගිරීමකින් තොරව අපි කතිරයෙන් ලබාගත්තා. ලෝකයේ ඇතැම් රටවල් මේ වෙනස ගත්තේ උද්ඝෝෂණ කර, වැඩවර්ජන කර, විරෝධතා පවත්වා, ලේ වැගිරීම් කරලා. ඒ නිසා අපි කතිරයෙන් මේ වෙනස ගැනීම ගැන ලෝකයේ රටවල් අපේ රට කෙරෙහි පැහැදී ආධාර කරන්න පවා ඉදිරිපත් වී සිටිනවා.
අනුර කුමාර ජනාධිපති සහෝදරයා බලයට පත්වූ විගසම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එය කළේ පාර්ලිමේන්තුව දූෂිතයන්ගෙන් පිරී පැවතුණ නිසයි. දැන් ජනතාවට පිරිසිදු පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. එම අලුත් පාර්ලිමේන්තුවට දූෂිතයන්ගෙන් තොර පිරිසිදු මන්ත්‍රීවරුන් පිරිසක් පත් කරන්න ඕනෙ. අද දුෂිතයන් නැති එකම පක්ෂය ජාතික ජන බලවේගයයි. ඒ නිසා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළ යුතුයි. අපි ළඟ මනාප නෑ. ආසනයෙන් නම් කරන අපේක්ෂකයන් තිදෙනාට ඡන්දය දෙන්න. මන්ත්‍රීවරුන් නම් කිරීම පක්ෂයෙන් සිදු කරනවා.”