පසුගිය ජනාධිපතිවරණය සැලකිල්ලට ගැනීමේදී අපේක්ෂා කළ ප්‍රතිඵලයක් ලබා ගන්න සමගි ජන බලවේගයට නොහැකි වුණා. නමුත් මහමැතිවරණයෙන් ජයග්‍රහණය අපේක්ෂා කළ හැකිද ?
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට සාපේක්ෂව මෙවර මහමැතිවරණයෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියා අපි අපේක්ෂා කරනවා. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. මුලින්ම ගත්විට රනිල් වික්‍රමසිංහ සාධකය මෙවර මැතිවරණයේ දී නැහැ. පසුගිය ජනාධිපතිවරණයේ දී ඒ මහතා ජනාධිපති ධුරයේ සිටිය දී රාජ්‍ය මාධ්‍ය ඇතුළුව සියල්ල හසුරුවමින්, බලය පාවිච්චි කරමින් ඡන්ද ව්‍යාපාරය කළා. ඒ සමඟම එක්සත් ජාතික පාක්ෂිකයන්ට පණිවුඩයක් දුන්නා. මම තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියලා. ඒවා සමඟ අපිට විශාල බලපෑමක් වුණා. අපි අපේක්ෂා කළාට වඩා අපේ ඡන්ද ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතා කඩා ගත්තා කියන්න පුළුවන්. ඒ සමඟම ඒ මහතා රාජ්‍ය බලය පාවිච්චි කරමින් ඔප්පු බෙදුවා. හාල් බෙදුවා. ඔහු නැතිනම් අස්වැසුම කැපෙයි කියා පණිවුඩයක් දුන්නා. ඒ වගේම මාලිමාව ගැන බොහෝ අයට බලාපොරොත්තුවක් තිබුණා ඒ අය කවදාවත් ආණ්ඩුවක් කළ නැති නිසා.
නමුත් ඒ බලාපොරොත්තු මේ වනවිට බොහොමයක් සුන්වී ගොස් තිබෙනවා. ඇතැම් පොරොන්දු අමු අමුවේ කඩකර තිබෙනවා.
අද වනවිට බොහෝ පිරිසක් කතා කරන්නේ ප්‍රබල විපක්ෂයක් සම්බන්ධයෙන්. නමුත් මෙවර මහමැතිවරණයේ දී තියුණු තරගයක් තිබෙනවා. මේ තරගය ඔබට බලපාන්නේ කෙසේ ද?
තරගය පහසු වෙන්නේ නැහැ. ජනාධිපති පුටුවේ කිසියම් කෙනෙක් අසුන් ගත් පසුව තරගය පහසු වෙන්නේ නැහැ. නමුත් එයින් අදහස් කරන්නේ තරගයක් දීලා දිනන්න බැහැයි කියන එක නොවෙයි. හොඳම උදාහරණය තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා. නමුත් මේ සුළු කාලය තුළ වත්මන් ආණ්ඩුව පිළිබඳ පිරිහීමක් තිබෙනවා. විශ්වාසය කඩකිරීමක් සිදුව තිබෙනවා. මෙවර ලොකු තරගයක් තිබෙනවා. ජාතික ජන බලවේගයට සමාජ මාධ්‍ය හැසිරවීමේ දක්ෂතා තිබෙනවා. ඔවුන් ප්‍රචාරයට ඉතාම දක්ෂයි. මේ දේවල් සමඟ අපිට ලොකු තරගයක් තිබෙනවා. නමුත් එය ජයග්‍රහණය කිරීමේ හැකියාව අපිට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ඉදිරියට ගමන් කරන්නේ නම් බලය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා නේද?
එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සමඟ එක්වීමේ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමේ ගැටලුවක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා හැම අවස්ථාවකම විශ්වාසය කඩකර තිබෙනවා. ඒ අනුව ඒ මහතා නායකත්වයේ ඉන්නතාක් අපිට එතනට එක්වීමේ බැරි තත්ත්වයක් තිබෙනවා. අපිට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමේ ගැටලුවක් නැහැ. නමුත් එතුමා නායකත්වයේ සිටිනතාක් ප්‍රශ්නයක් තිබෙනවා. මෙවර ඡන්දයෙන් පසුව අපේ කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂය එක්ව බලය පිහිටුවීමට අවශ්‍ය වුවහොත් පක්ෂ දෙකේ නායකයින් විසින් තීරණය කළ යුතු වෙනවා. නමුත් මම හිතන්නේ අපිට එලෙස ආණ්ඩුවක් හදන්න පුළුවන් වුණත් ජාතික ජන බලවේගයට මේක කරගෙන යන්න අවස්ථාව දිය යුතු වෙනවා. ඔවුන්ට කරන්න පුළුවන් ද බැරිද කියා රටට ඔප්පු වන එක ඉතාම හොඳයි. ඔවුන් කරන හොඳ දේට අපි අත්පුඩි ගසා සහාය ලබා දෙනවා.
සේනානායක පරම්පරාව ගත්විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. ඔබ වෙනත් කඳවුරක සිටිනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයට යළි එක්වන්න අදහසක් තිබෙනවා ද ?
පක්ෂය කෙසේ වුණත් ප්‍රතිපත්ති වෙනස් නම් එතන ගැටලුවක් තිබෙනවා. ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක මහත්වරුන්ට යම් අදහසක් තිබුණා. යම්කිසි ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම කඩකරලා වෙනත් පැත්තකට යනවා නම් මේක ඩී. එස්. ගේ එක්සත් ජාතික පක්ෂය කියන්න බැහැ. අපි දකින්නේ එක්සත් ජාතික පක්ෂය ළඟින්ම යන නියෝජනය තමයි සමගි ජන බලවේගය.
කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔබ මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා. මැතිවරණය ජයග්‍රහණය කරන්නේ නම් දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා කටයුතු කරන්නේ කෙසේ ද?
කෑගල්ල දිස්ත්‍රික්කයේ යම්කිසි වැඩකොටසක් මා විසින් සිදුකර තිබෙනවා. නමුත් මීට වඩා යම්කිසි වැඩකොටසක් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට තෝරා ගන්නවා නම්, කෑගල්ලට කළ යුතු දේ බොහොමයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් වන සතුන්ගේ හානිය නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය අද වනවිට බොහෝ සෙයින් විනාශයට ලක්ව තිබෙනවා. රිළවු, වඳුරන්, දඬු ලේන්නු, ඌරන් සහ මොනරුන් නිසා වගාවන් විශාල වශයෙන් විනාශයට පත්ව තිබෙනවා. මම හිටපු වනජීවී ඇමැතිවරයෙක් හැටියට සතුන් මරන්න කියන්නේ නැහැ. නමුත් ඔවුන්ව පාලනය කරන්න ආණ්ඩුව විසින් යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කළයුතු වෙනවා. මේක ජන ජීවිතයට තර්ජනයක් වී තිබෙනවා. ඒකට පැහැදිලි විසඳුමක් අවශ්‍ය වෙනවා. අපේ කෘෂිකර්මාන්තයෙන් සියයට 50ට වැඩි ප්‍රමාණයක් වන සතුන්ගෙන් හානියට පත්වෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සුන්දර, ඓතිහාසික ස්ථාන තිබෙනවා. ඒ නිසා සංචාරක කලාපයක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කය ප්‍රවර්ධනය කරන්න පුළුවන් වෙනවා.
වත්මන් ආණ්ඩුව අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය ගැන කුමක් කිව හැකිද?
එදා බණ්ඩාරනායක මැතිනිය අනුගමනය කළේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය. ඒ මහත්මිය ඉන්දියාව ඇතුළු රටවල් හොඳින් තියාගෙන සමබරව කටයුතු කළා. ඉන්දිරා ගාන්ධි සමඟ පුද්ගලික මිත්‍රත්වයක් ඇතිකර ගත්තා. ඒකත් සමඟ ලංකාවට තර්ජනයක් තිබුණේ නැහැ. ඩී.එස්. සේනානායක මහතා 1948 වසරේ දී ශ්‍රී ලංකාවට නිදහස ලබාගත් දිනයේම බ්‍රිතාන්‍ය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. ත්‍රිකුණාමලයේ බ්‍රිතාන්‍ය කඳවුරක් පිහිටා තිබුණා. ලංකාවට වෙනත් රටකින් අනතුරක් ආවොත් ඒ සඳහා යුද්ධ කරන්න ඔවුන් බැඳී සිටියා. ඒ අවස්ථාවේ ලංකාවට ඇඟිලි ගහන්න ඉන්දියාවට නොහැකි වුණා. බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාව සමඟ මිතුදම වර්ධනය කර ගත්තා. ජේ.ආර්. ජයවර්ධන මහතාට ඉන්දියාවෙන් පීඩනයක් ආවා. නොබැඳි විදේශ ප්‍රතිපත්තිය නොතිබීම හේතුවෙන් එවැනි පීඩනයක් ආවා. නමුත් පසුව රාජපක්ෂවරු චීනය සමඟ මිත්‍රත්වයක් පවත්වා ගත්තා. ඉන්දියාව අපේ හතුරෙක් නොවෙයි. ඔවුන් මිත්‍රත්වයෙන් තබාගත යුතු වෙනවා. ඒ අනුව අපිට වාසි ගන්න පුළුවන්.