ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජන බලවේගයටම පාර්ලිමේන්තු බලයත් ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ ඇයි?
මෙරට තිබෙන දේශපාලන වටපිටාව අනුව සාමාන්‍ය විදිහට ජාතික මැතිවරණයක් ජයගත් පක්ෂයක් එම මැතිවරණයට සමීපව පැවැත්වෙන ජාතික මැතිවරණය ජයගන්නවා. එය සමාන්‍ය දෙයක් විදිහට තමයි අප දකින්නේ. එතැනදී ජනතාව මෙහෙම දෙයක්ද කල්පනා කරනවා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අලුත් වෙනසකට පෙළගැසුණ ජනතාව අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාට ශක්තියක් ලබා දීමට අවශ්‍ය පසුබිම ඇති පාර්ලිමේන්තුවක් බිහි කිරීමයි. පාර්ලිමේන්තුව ශක්තිමත් විය යුතුයි කියන කරුණ එජාපයට හෝ එම ධාරාවේ වෙනත් පක්ෂයකට වැදගත් වෙන්නේ නැහැ, ඒ අයට සාමාන්‍ය විදිහට පාර්ලිමේන්තුවේ එක වැඩි ඡන්දයකින් වුවත් රට පාලනයට හැකියාව තිබුණා, ඔවුන් මන්ත්‍රීවරු මිලදී ගැනීම වගේ වැරැදි ක්‍රම මඟින් තමයි රට පාලනය කිරීමට උත්සාහ කළේ.
ජාතික ජන බලවේගය අපේක්ෂා කරන්නේ රටට පූර්ණ ක්‍රම වෙනසක් කරන්න. ඒ සඳහා අපට ජාතික ජන බලවේගයේම ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා. වැනෙන ආණ්ඩුවකින් ජනතාව අපේක්ෂා කරනු ලබන දේවල්, අපේක්ෂා කළ දේවල් ඉටු කරන්න බැහැ. ඒ නිසා තමයි අප ඉදිරි අවුරුදු පහ සඳහා ජාතික ජන බලවේගයේ ස්ථාවර ආණ්ඩු බලයක් ඉල්ලන්නේ. අපට විශ්වාසයි ජනතාව ජාතික ජන බලවේගය වෙත ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දේවියැයි අපට විශ්වාසයි.
ආණ්ඩුව බලය ලබා ගැනීමට දුන් පොරොන්දු කඩ කරමින් සිටින බවට විපක්ෂයේ ඇතැමුන් චෝදනා එල්ල කරනවා මේ චෝදනා පිළිබඳව ඔබේ අදහස?
අපි මැතිවරණය වෙනුවෙන් සටන් පාඨ මතු කළේ නැහැ අප දිගින් දිගටම රට ඉදිරියට ගෙන යන විදිහ පිළිබඳව වැඩපිළිවෙළක් තමයි ඉදිරිපත් කළේ.අප දිගටම අනුගමනය කරනු ලබන්නේ රට පිළිබඳව වූ ඒ වැඩපිළිවෙළ මිසක් විපක්ෂයේ කණ්ඩායම් වගේ පොරොන්දු දේශපාලනය නොවෙයි.අපි එක් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ අප සමස්ත ජනතාව වෙනුවෙනුයි පෙනී සිටින්නේ.
පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය බලයට පැමිණියහොත් රට පුරා ප්‍රචණ්ඩත්වය ඇති විය හැකි බවට සමාජය තුළට මතයක් ගෙන ගියා?
අපි 1994 පසු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ එක වැලිකැටයක් ගසා කාටවත් රිදවා නැහැ. අපි ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහටයි එදා සිට කටයුතු කළේ, එහෙත් අපේ දේශපාලන විරුද්ධවාදීන් සමාජය තුළ ලොකු භීතියක් ඇති කළා මාලිමාව දිනුවොත් රට ලේ විලක් වෙනවා කියලා. එහෙත් ජනාධිපතිවරණයෙන් අප ජයගත් පසු ප්‍රායෝගිකව ලෝකයට ඔප්පු කර පෙන්වූවා අප ඉතාමත් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනු ලබන පිරිසක් කියලා. මෑත ඉතිහාසය තුළ සාමකාමීම ප්‍රශ්චාත් මැතිවරණ කාලයක් තමයි ගත වුණේ. ජය සැමරුම් උත්සව පවා පැවැත්වුණේ නැහැ. අප සිතන්නේ මැතිවරණයකින් පසු තමන් වෙත ලැබුණු සමාජ වගකීම ඉටු කිරීම මිස පරාජිතයන්ගේ හිත් රිදවීම හිංසා කිරීම නොවෙයි වෙන්න ඕනැ.
ජනාධිපතිවරණයෙන් පසු ඒ ගැන ලැබෙන සමාජ ප්‍රතිචාරය කොහොමද?
දැන් පැවැත්වෙන මහමැතිවරණය පවා ඉතාමත් සාමකාමි විදිහට පැවැත්වෙන්නේ, අපට වෙනත් පක්ෂවලට ඡන්දය දුන් අය හමුවෙනවා, ගරුතර පූජ්‍ය සහ පූජක පක්ෂයේ උතුමන් හමුවෙනවා ඔවුන් කියන්නේ එදා ආණ්ඩු බලයේ සිටි අය මැවුවේ බොරු චිත්‍රයක් බවයි ඇත්ත තත්ත්වය ඔවුන් කියූ දේට වඩා සපුරා වෙනස් බවයි.
ඇත්තෙන්ම 88 ,89 කියමින් සමාජය සම්පූර්ණයෙන්ම මුළා කරන වැඩපිළිවෙළකුයි ක්‍රියාත්මක වුණේ. එහෙත් අද වන විට ජනතාව තේරුම් අරන් තිබෙනවා ඇත්ත නැත්ත කුමක්ද කියලා.
විපක්ෂය කියන්නේ මාලිමාවට පළපුරුදු චරිත නැති බවයි?
ඒ අය කියන කරුණු අද වෙද්දි පුස්සක් වෙමින් තිබෙනවා. අප ක්‍රියාත්මක කරන්නේ පුද්ගල බද්ධ දේශපාලනයක් නොවෙයි. ජනාධිපතිවරයාගේ සිට බිමේ ඉන්න සහෝදරයා දක්වා අප පොදු වැඩක් කරන්න ඇවිත් ඉන්නේ. අපට පුද්ගලික ප්‍රතිලාභ වරප්‍රසාද අවශ්‍ය වෙන්නේ නැහැ. දැනටමත් පක්ෂය තීරණය කර තිබෙනවා වරප්‍රසාද ලබා දීමකින් තොරව මහජන සේවයක් විදිහට අප වෙත ලැබෙන මන්ත්‍රී ධුර ක්‍රියාත්මක කරන්නේ.
අද සෙසු පක්ෂ කියන පුරුදු මුහුණු යැයි කියන පිරිසෙන් විශාල පිරිසක් මැතිවරණයට මුහුණ දෙන්නේ නැතිවම පලා ගිහින් තිබෙන්නේ.අද වන විට ප්‍රසිද්ධ මුහුණු සිටිනා බව කියූ ප්‍රධාන පක්ෂවල ප්‍රධාන මුහුණු විශාල ප්‍රමාණයක් අද දේශපාලනයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිහින් සිටින්නේ.සැප්තැම්බර් 21වනදා කතිරයෙන් ජනතාව පාර්ලිමේන්තුවේ සිටි දූෂිත සහ අප්‍රසාදයට පත්වූ නියෝජිතයන් රැසක් මැතිවරණයෙන් තොරවම ගෙදර යැව්වා දැන් ලබන දාහතරවනදාට තවත් ඉතිරි ටිකත් සුද්ද කරලා පවිත්‍ර පාලනයක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම තමයි ඉදිරි කාර්ය විදිහට ජනතාව වෙත පැවරී තිබෙන්නේ.
ආණ්ඩුව ඉදිරි මහමැතිවරණයෙන් සාමාන්‍ය බහුතරයක් වෙනුවට බලවත් ආණ්ඩු බලයක් ඉල්ලන්නේ ඇයි?
අපට ජනතාව බලය දුන්නේ තිබෙන ක්‍රමය පවත්වා ගෙන යන්න නොවෙයි තිබෙන ක්‍රමය වෙනස් කරමින් අලුත් මාර්ගයක් වෙත රට යොමු කිරීමටයි. ඒ සඳහා තමයි අප ආණ්ඩු බලය ඉල්ලන්නේ. දැන් පවත්වා ගෙන යන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්. ජනපති, අගමැතිනිය සහ එක් ඇමැතිවරයකු පමණයි මේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන්නේ ඒ නිසා අපගෙන් ජනතාව අපේක්ෂා කළ වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කිරිමට නම් ලොකු බලයක් ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය කරනු ලබනවා.ඒ නිසා තමයි අප විශාල බලයක් ඉල්ලන්නේ.
ඔබ නියෝජනය කරන්නේ අත්තනගල්ල ආසනය අත්තනගල්ල, දොම්පේ, ගම්පහ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බළකොටු එහෙත් මෙවර ඒ බළකොටු කඩාගෙන වැටුණා. ඒ තත්ත්වයට හේතුව කුමක්ද?
ඇත්තෙන්ම අපේ ප්‍රදේශවලටත් රටේ තිබුණු ප්‍රශ්න ඒ විදිහටම බලපෑවා රාජ්‍ය නායකයෝ කිහිපදෙනෙකු මේ ප්‍රදේශවලින් බිහි වුණා මහින්ද රාජපක්ෂ බලයට ඒමටත් ලොකුම ඡන්ද පංගුව ලබා දුන්නේ මේ ප්‍රදේශවල ජනතාව එහෙත් එයින් කිසිදු දෙයක් අත්තනගල්ලට ,ගම්පහට , දොම්පේට සිදු වුණේ නැහැ.ඒ නිසා ජනතාව තේරුම් ගත්තා අලුතින් පටන් ගන්න ඕනෑ ඒ සඳහා නව බලවේගයක නායකත්වය ඕනෑ කියලා ඒ නිසා තමයි අවසානයේදී එක මිටට ගම්පහම මාලිමාවට කැමැත්ත පළ කළේ.