Sunday, April 20, 2025
Home » අමතක නොවන 2020 මහමැතිවරණය

අමතක නොවන 2020 මහමැතිවරණය

by mahesh
October 25, 2024 1:00 am 0 comment

එම්. තාරික්

2020 මහමැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145ක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ඉතා ආසන්න බලයක් තහවුරු කරගැනීමට සමත් විය. උතුරු හා නැඟෙනහිර පළාත්වලට වෙන් වෙන්ව තරග කළ එම පෙරමුණේ හවුල්කාර පක්ෂ ලබාගත් මන්ත්‍රී ධුර 5 ද සමඟ තුනෙන් දෙකක ආණ්ඩුවකට අවශ්‍ය මන්ත්‍රී ධුර සංඛ්‍යාව සම්පූර්ණ විය. මන්ත්‍රී ධුර 54ක් ලබාගනිමින් සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය බවට පත්ව සිටි අතර දරුණු පරාජයකට ලක්වූ එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. 2020 මහමැතිවරණය සඳහා ලියාපදිංචිව සිටි එක්කෝටි හැටදෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 75.89ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද හැටඅට ලක්ෂ පනස්තුන්දහස් හයසිය අනූවක් හිමිව තිබුණ අතර එය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.09කි. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මෙරට ඉතිහාසයේ පළමුවරට එක් දේශපාලන පක්ෂයක් හිමිකරගත් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව හිමිකර ගැනීමට පොදුජන පෙරමුණ පක්ෂය සමත් වූ අතර ඔවුන් ලබාගත් සමස්ත මන්ත්‍රී ධුර ගණන 145කි. ඒ, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 17ක් ද හිමිවීමත් සමඟය.

උතුරු නැඟෙනහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග නොකළ ද එම පෙරමුණේ හවුල්කාර පාර්ශ්වයක් වන ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. පක්ෂය යාපනය හා වන්නි දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ධුර 02ක් හිමිකර ගත්තේය. එමෙන්ම, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කළ ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් Òජාතික කොංග්‍රසයÓ එක් මන්ත්‍රී ධුරයක් ද, යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අංගජන් රාමනාදන් මහතාට එක් මන්ත්‍රී ධුරයක් ද, මඩකළපුව දිස්ත්‍රික්කයට Òතමිල් මක්කල් විඩුතලෙයි පුලිගල්Ó පක්ෂයෙන් තරග කළ ශිවනේසන්තුරෙන් චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එක් මන්ත්‍රී ධුරයක් ද දිනා ගත්තේය.

මේ අනුව, එම මන්ත්‍රීවරුන් පස්දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයට අවශ්‍ය මන්ත්‍රී ධුර 150 සම්පූර්ණ කරගැනීමට අවස්ථාව සැලසුනි. මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 18 කම ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකරගත් අතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුවත් මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 18 කම බලය හිමිවුණේද පොදුජන පෙරමුණටය.

මේ අතර මෙරට පාර්ලිමේන්තුවේ පැරණිම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය සිය 73 වසරක මැතිවරණ ඉතිහාසයේ දරුණුතම පරාජයට මෙවර මුහුණ දුන්නේය. කිසිදු මැතිවරණ කොට්ඨාසයක් හෝ දිනාගැනීමට අසමත් වූ එක්සත් ජාතික පක්ෂය මෙවර ලබාගත්තේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. ඒ සමඟම එහි වැඩිම කාලයක් නායකත්වය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරය අහිමිවීමේ අවදානමක් මතුව තිබිණි.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් 1946 සැප්තැම්බර් මස 06 වන දින බිහි වූ එක්සත් ජාතික පක්ෂය 1947 මුල්ම මහමැතිවරණයේ දී ආසන 95 න් 42ක් දිනාගනිමින් පළමුවරට ආණ්ඩු බලය හිමිකර ගත්තේය. අනතුරුව මහ මැතිවරණ 7 කදීම ආණ්ඩු බලය දිනූ එක්සත් ජාතික පක්ෂයෙන් අග්‍රාමාත්‍යවරුන් 7 දෙනකු සහ ජනාධිපතිවරුන් 3 දෙනකු බිහි වී තිබේ. 1956 සහ 1970 වසරවල පැවති මහමැතිවරණවලදී පමණක් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ගණන 8 කට සහ 17කට අඩු වූ නමුත් අඛණ්ඩව වැඩිම වසර ගණනක් එනම් වසර 17ක් ආණ්ඩු බලය හොබවා තිබෙන්නේ ද එක්සත් ජාතික පක්ෂයයි.

1977 සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම පක්ෂය 1989 මහ මැතිවරණයේදී ආසන 125ක්, 1994දී ආසන 94ක්, 2000දී ආසන 89ක්, 2001දී ආසන 109ක්, 2004දී ආසන 82ක්, 2010දී ආසන 60ක් සහ 2015දී ආසන 106ක් දිනා ගත්තේය. එහෙත් 2020 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව එක් ආසනයක් හෝ දිනාගැනීමට හැකි නොවූ අතර ජාතික ලැයිස්තුවෙන් පමණක් එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.

එම පක්ෂයේ වැඩිම කාලයක් නායකත්වය හෙබ වූ, පස්වරක්ම මෙරට අගමැති ධුරයට පත් වූ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඡන්දයෙන් මැතිසබයට තේරීපත්වීමට හෝ අපොහොසත්වීම විශේෂත්වයකි.

ඒ අනුව 2015 මැතිවරණයට ලැබී තිබූ මන්ත්‍රී ධුර 105ක්ම අහිමි කරගත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මහමැතිවරණයකින් පසු අනෙක් මහ මැතිවරණයේ දී වැඩිම ආසන ගණනක් අහිමි කරගත් පක්ෂය ලෙස ඉතිහාසගත වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT