Home » ජනපතිවරණයේ රැල්ල දෙගුණ වී 89 මහ ඡන්දයෙන් එජාපය දිනයි

ජනපතිවරණයේ රැල්ල දෙගුණ වී 89 මහ ඡන්දයෙන් එජාපය දිනයි

by mahesh
October 25, 2024 1:00 am 0 comment

1977 මහමැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා 5/6 ක ජයක් ලබා ගනිමින්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමෙන් පසුව, මහමැතිවරණයක් පවත්වන ලද්දේ 1989 වසරේ පෙබරවාරි මාසයේ ය. මහමැතිවරණය පවත්වන ලද්දේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේය. මෙම මැතිවරණ ක්‍රමය යටතේ සෑම අපේක්ෂකයෙකුටම දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාව හිමි විය.1989 වසරේ පවත්වන ලද මහා මැතිවරණය යනු රට පුරාම භීෂණය රජ කරමින් තිබුණු යුගයක පවත්වන ලද මහමැතිවරණයකි.

1988 දෙසැම්බර් මාසයේ පවත්වන ලද ජනාධිපතිවරණය සහ 1989 පෙබරවාරි මාසයේ පවත්වන ලද මහමැතිවරණය යන දෙකම වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුවිය. මෙම මැතිවරණ පවත්වන ලද සමය වෙන විටද, ජනතා විමුක්ති පෙරමුණට එරෙහි මර්දනය නොකඩවා සිදුවිය. මැතිවරණය නිසා හදිසි නීති රෙගුලාසි ඉවත් වී තිබුන ද නිල වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ තහනම ඉවත්වී නොතිබුණි. මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ සිටි අත්දැකීම් සහිත, පරිණත, සංවිධාන විනයක් තුළ ගොඩනැගී තිබු පක්ෂ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් පක්ෂයට අහිමි වී තිබිණි.

මෙවැනි භීෂණයක් පැවතුණු තත්වයක් තුළ 1988 ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු සැලසිණි. ඒ අනුව 1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී. එම අවස්ථාවේ දී මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන පස් දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දී ඒ අනුව ඇතැම් ස්ථානවල පුද්ගලයින් මරා දැමීම ද සිදුවිය. නිල ඡන්ද පත්‍රිකා බෙදීම අඩපණ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ නිවෙස්වලට පැන හැඳුනුම්පත් කොල්ලකෑම ද සිදුවිය. මෙවැනි තත්ත්වයක් රට තුළ උද්ගත වෙද්දී 1988 නොවැම්බර් 10 වැනිදා ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ආර්. ප්‍රේමදාස මහතා ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඔසී අබේගුණසේකර මහතා ද නාමයෝජනා භාර දුන්හ.

1988 දෙසැම්බර් 19 පැවති ජනාධිපතිවරණයෙන් ආර්. ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේය. මෙය ඉතාම බරපතළ ගැටුම් හා විරෝධයන් මැද පැවති රාජ්‍ය බලය හා මර්දනය උපරිම ලෙස යොදාගත් ජනාධිපතිවරණයක් විය. ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ගයද කිසියම් සාර්ථකත්වයක් අත්කර ගෙන තිබු බව සඳහන් කළ යුතුය. මෙම ජනාධිපතිවරණයෙන් ආර්.ප්‍රේමදාස මහතා ඡන්ද 2,569,199 ක්ද, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඡන්ද 2,289,860 ක් ද ලබා ගත් අතර ආර්. ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 279,339 කින් තියුණු තරගයක් දෙමිනි.

ආර්.ප්‍රේමදාස මහතාගේ පාලනය යටතේ, ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා 1989 පෙබරවාරි 15 වැනිදා මහා මැතිවරණය පැවැත් වූ අතර එයද වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ට සිදුවිය. මහා මැතිවරණය වර්ජනය කිරීමට ගත් ක්‍රියාමාර්ග තුළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් මෙන්ම ආරක්ෂක අංශවල මර්දනකාරීත්වය ද නිසා මැතිවරණ ගැටුම්, මිනිස් ඝාතන හා රාජ්‍ය මර්දනය බරපතළ ලෙස ක්‍රියාත්මක වූ මැතිවරණයක් බව සඳහන් කළ යුතුය.

1988 ජනාධිපතිවරණය පවත්වා මාස 3කටත් අඩු කාලයක් තුළ පැවැත්වුණු මහා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දුන්නේ ඉතාමත් අසීරුවෙනි. එම නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැත. ඒ අනූව 1989 මහා මැතිවරණයේ දී ඔවුන් ලැබූ පරාජය දැවැන්ත එකක් විය. එක්සත් ජාතික පක්ෂය මුළු ආසන 125 ක් ලබා ගෙන විශාල ජයග්‍රහණයක් ලබා ගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබුවේ, ආසන 67 කි.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1988 ජනාධිපතිවරණයේ දී ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ යාපනය යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කර තිබුණි. එම නිසා 1989 මහා මැතිවරණයේ දී ඔවුන් ලැබූ පරාජය දැවැන්ත එකක් වු බව සඳහන් කළ යුතුය. කෙසේ වුවද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හිමිවිය. එම්.එච් මොහොමඩ් මහතා කථානායකවරයා වූ අතර ගාමිණි ෆොන්සේකා මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කළේය. එම පාර්ලිමේන්තුවේ සභා නායකවරුන් ලෙස රනිල් වික්‍රමසිංහ සහ විජේපාල මෙන්ඩිස් මහත්වරුන් කටයුතු කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූයේ රිචඩ් පතිරණ මහතාය. මෙම පාර්ලිමේන්තුවේ විශේෂ සිදුවීමක් වන්නේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමයි. මන්ත්‍රීවරුන් 47කගේ අත්සනින් ඉදිරිපත් කළ දෝෂාභියෝගය කථානායක එම්.එච්. මොහොමඩ් මහතා පිළිනොගත් නමුත් එහි නායකත්වය ගත් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ජී.එච්. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරු පක්ෂයෙන් නෙරපා හරින ලදි.

එම කාලවකවානුවේ දේශපාලන ඝාතන කිහිපක් ද සිදුවිය. එවක ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා බෝම්බ ප්‍රහාරයකට ගොදු වුණේ 1991 මාර්තු 2 වැනි දිනය. 1993 අප්‍රේල් 23 වැනිදා නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් ලලිත් ඇතුලත්මුදලි මහතා ද ඝාතනය විය. ඒ කිරුළපන ප්‍රදේශයේදීය. 1993 වසරේ මැයි පළමු වැනි දින එවක ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විය. ඉන් පසු ජනාධිපතිධූරයට පත්වුනේ ඩී.බී. විජේතුංග මහතාය. අගමැතිධූරය 1993 වසරේ සිට 1994 දක්වා රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය.

1989 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ජනතා සහායක් පෙන්නුම් කරන ලද බව ඇතැමුන් විශ්වාස කළහ. නමුත් එක්සත් ජාතික පක්ෂ රජය භීෂණයට මුවා වී ඡන්ද දූෂණවල යෙදීම ඡන්ද පෙට්ටි පුරවා ගැනීම ආදිය සිදුකළ අතර බණ්ඩාරනායක මැතිනිය බරපතළ පරාජයකට ලක් වෙන මට්ටමේ ජන රැල්ලක් පෙනෙන්නට නොතිබිණි. එහෙත් ජය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. මෙහිදී සිදුවී තිබුණේ පවතින රජයම පවත්වාගෙන යන්නට ඡන්දදායකයන් පෙලඹී තිබීමය. ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාත්මක කළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ජනතාවට පීඩාවක් වී තිබුණේය. ඡන්දයට පෙර විපක්ෂ ක්‍රියාකාරකම්වලට හේතුව වූයේ, සන්නද්ධ කණ්ඩායම්වලට තිබූ බය පක්ෂපාතීකම බව සඳහන් කිරීම නිවැරදිය. කෙසේ වුවද, විපක්ෂයට පෙනෙන්න තිබූ රැල්ල එම 1989 මහා මැතිවරණයේදීත් මිරිඟුවක් පමණක් විය.

එම්. තාරික්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT