Home » අනවසර යාත්‍රා 2ක් සමඟ ඉන්දීය ධීවරයෝ 16ක් නාවික හමුදා දැලේ

අනවසර යාත්‍රා 2ක් සමඟ ඉන්දීය ධීවරයෝ 16ක් නාවික හමුදා දැලේ

මේ වසරට යාත්‍රා 61ක් හා ධීවරයන් 450ක් හසු වෙලා

by mahesh
October 25, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සමඟ ඉන්දීය ධීවරයන් 16 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරේදා (23) යාපනය, කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් සිය හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, 23 වන දින දිවා කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවාහැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයට අනුයුක්ත නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කර තිබේ. එහිදී, කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි යාත්‍රා 2ක් සමඟ මේ පිරිස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. අත්අඩංගුවට පත් පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ උතුරු කලාප කාර්යාලයට භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

මේ මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා කළ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 61ක් සහ ඉන්දීය ධීවරයන් 450 දෙනකු නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT