Home » රත්නපුර බස් නැවතුම්පොළේ අපචාර වැළැක්වීමට සී.සී.ටී.වී. කැමරා

රත්නපුර බස් නැවතුම්පොළේ අපචාර වැළැක්වීමට සී.සී.ටී.වී. කැමරා

by mahesh
October 25, 2024 1:00 am 0 comment

කහවත්ත - ලසන්ත නිරෝෂණ පෙරේරා

රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ ඊට ආසන්න ප්‍රදේශයේදී සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කාන්තාවන් කිහිපදෙනෙකු සහ මත්කුඩුවලට ඇබ්බැහි වූවන් විසින් කොල්ලකෑම් හා සොරකම් සිදු කරන බවට අනාවරණය වීමෙන් පසු ආරක්ෂිත කැමරා ස්ථාපනය කිරීමට සූදානම් වෙයි.

පසුගිය මාස තුනක පමණ කාලයේදී මෙවැනි සොරකම්, කොල්ලකෑ‍ෙම් සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ අවට වෙළෙඳ ප්‍රජාව පවසයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ ආරක්ෂිත කැමරා ස්ථාපනය කිරීමට රත්නපුර මහ නගර සභාව සහ රත්නපුර මිණිකිරණ හා විද්වත් ව්‍යාපාරික සංගමය තීරණය කර තිබේ.

පෙරේදා (23) දිනය තුළදිත් මෙවැනි සොරකම් සිදුවීම් තුනක් වාර්තා වී තිබේ. මෙවැනි සිද්ධීන් ගැන බොහෝ අය ලැජ්ජාව නිසා පොලිසියට පැමිණිලි නොකරන අතර සමහරුන් පොලිසියට පැමිණිලි කිරීමේදී සත්‍ය වසන් කරමින් පැමිණිලි කරන බව රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළේ පොලිස් මුරපොළ ස්ථානාධිපති පොලිස් සැරයන් මොහොමඩ් ෆාරුක් මහතා පවසයි.

ගණිකාවන් විසින් ඔවුන්ගේ ඇසුරට කැමති වෙන පුද්ගලයින් රත්නපුර නගරයේ විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා ඇතැයි ද පසුව ඔවුන් බස් නැවතුම්පොළ අසලට පැමිණ බස් නැවතුම්පොළ තුළදී කොල්ලකෑම් සිදුවූ බව හඬමින් සිටි අවස්ථා ද ඇතැයි පොලිසිය පවසයි. රත්නපුර බස් නැවතුම්පොළ අවට රැඳී සිටින කාන්තාවන් කිහිප දෙනෙකු නගරයට පැමිණෙන සමහර පුද්ගලයින් පොලඹවාගෙන ගොස් ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ ද ජංගම දුරකතන ද කොල්ලකෑමට පුරුදුවී සිටින බව පොලිසියට තොරතුරු ලැබුණද ඒවාට ගොදුරු වෙන බොහෝ අය ලැජ්ජාව නිසා පොලිසියට පැමිණිලි නොකරන බව ද පොලිසිය පවසයි.

නගරයේ සැරිසරන කාන්තාවන් ගැන පැමිණිල්ලක් නොමැතිව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට පොලිසියට ද නොහැකි වී තිබේ. දිවා කාලයට වඩා රාත්‍රි කාලයේදී මෙවැනි සිද්ධීන් වැඩි වශයෙන් සිදු වෙන බව රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළෙඳසල් හිමියෝ පවසති. රාත්‍රි කාලයේදී රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට බස් රථ ධාවනය නොවෙන නිසා මගීන් රාත්‍රී දහයෙන් පසු බස් නැවතුම්පොළ තුළ රැඳී නොසිටින අතර එවැනි අවස්ථාවලදී සොරකම් සිදුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT