Wednesday, April 23, 2025
Home » පාස්කු වාර්තාවලින් දේශපාලනය කරන්න එපා

පාස්කු වාර්තාවලින් දේශපාලනය කරන්න එපා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

by mahesh
October 25, 2024 1:00 am 0 comment

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වාර්තා ගෙනහැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරයි.

අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්වරුන්ගෙන් පළි ගන්න හෝ ඔවුන් සම්බන්ධයෙන් විභාග කිරීමට හෝ සකස් කළ වාර්තාවක් නොවන බව පෙන්වාදෙන ඒ මහතා මෙය රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසූ වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව ඉතා පැහැදිලි වන්නේ යැයි ද පෙන්වා දෙයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

“ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති ධුරයට මම පත් වූ පසුව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි පාස්කු කොමිෂන් සභා වාර්තා එතුමන්ට භාරදීමට කටයුතු කළා. ඉන්පසුව කතෝලික රදගුරු සම්මේලනය ඒ පිළිබඳ පැහැදිලි කිරීම් ගණනාවක් ඉදිරිපත් කර තිබූ අතර මා වෙත යොමු කෙරුණු සියලු පැහැදිලි කිරීම් නීතිපතිවරයාට යොමු කර ඊට අදාළ සියලු කරුණු රදගුරු සම්මේලනය සමඟ හුවමාරු කර ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස් දුන්නා. චැනල් – 4 නාළිකාව ඔස්සේ විකාශනය වූ හෙළිදරව්ව පිළිබඳ කරුණු සෙවිය යුතු බවට ද මා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, හිටපු ගුවන් හමුදාපති චීෆ් එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හර්ෂ ෂෝසා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට කටයුතු කළා.

මීට අමතරව, ඒ.එම්.ජේ. ද අල්විස්, ඩබ්ලිව්.එම්.ඒ.එන්. නිශාන් සහ කේ.එන්.කේ. සෝමරත්න යන අයගෙන් සමන්විත තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. මේ කමිටුවට පත් කළ කිසිවකුත් මා පෞද්ගලිකව දන්නා හඳුනන අය නොවේ. මේ කමිටු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීමට ද කටයුතු කළා.

ඉන්දීය බුද්ධි සේවයෙන් කිසියම් වූ ආකාරයක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලද විට ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීම ඉහත කමිටුව පත් කිරීමේ එක් අරමුණක් වුණා. එසේම ඊට අදාළව ගනු ලැබූ පියවර ප්‍රමාණවත්දැයි විමසා බැලීම ද මේ කමිටුවට පැවැරුණු තවත් වගකීමක් වෙනවා. රාජ්‍ය බුද්ධි අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ බවට මාස හතරක් මුළුල්ලේ ප්‍රකාශ කළේ මන්ද? ඒ කාලය තුළදී ඊට අදාළව ගත් පියවර කුමක් ද යන්න පිළිබඳ විමසා බැලීම ද මේ කමිටුව මඟින් සිදු කළා. අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගෙන් පළි ගන්න හෝ ඔවුන් ගැන විභාග කිරීමට හෝ සකස් කළ වාර්තාවක් නොවේ.

පාස්කු සිද්ධිය ගැන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබ්දුල් ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් සියලු දෙනාටම නීත්‍යනුකූලව පියවර ගන්නා ලෙසත් ඒ වාර්තාව මඟින් වැඩිදුරටත් නිර්දේශ කර තිබෙනවා. මීට අමතරව එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාටත් විනය පියවර ගන්නා ලෙස එම වාර්තාව මඟින් නිර්දේශ කර තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT