Wednesday, April 23, 2025
Home » ගම්මන්පිලට එරෙහි නඩුවක විරෝධතා ගොනු කරන්න දින දෙයි

ගම්මන්පිලට එරෙහි නඩුවක විරෝධතා ගොනු කරන්න දින දෙයි

by mahesh
October 25, 2024 1:00 am 0 comment

චන්දන ජයවීර

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුවේ ලිඛිත දේශන නොවැම්බර් 25 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (24) විත්තියට නියෝග කළේය.

ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ නොහොත් සිඩ්නි ජයසිංහ මෙම නඩුවේ පළමු විත්තිකරු වන අතර උදය ප්‍රභාත් ගම්මන්පිල නඩුවේ දෙවැනි විත්තිකරු වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ ඊයේ (24) නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර උදය ගම්මන්පිල අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර පළමු චුදිත පෙනී නොසිටින ලදි. හදිසි අනතුරකින් පසු පළමු විත්තිකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට විත්තියේ නීතිඥයන් අධිකරණයට දැනුවත් කළේය. ඒ අනුව විත්තිකරුගේ වෛද්‍ය වාර්තා මීළඟ නඩු දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම විය.

ඩිජිටල් නොමිනීස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ජෝන් ෂැඩික් හා ඔහුගේ බිරිය වන ජැනට් එළිසබෙත් ජෝන් ෂැඩික් යන තැනැත්තන්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටෝනි බලපත්‍රයක් භාවිත කර අදාළ ව්‍යාපාරිකයාට අයත් සමාගමක කොටස් විකුණා මුදල් වංචා කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

වර්ෂ 1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 25 වැනිදාත් අතර කාලය තුළදී විශ්වාසය කඩ කර රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම, එයට ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා 4ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102, 389 වගන්ති යටතේ නඩු පවරා ඇත.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සමඟ නීතිඥ ඉරේෂා වනිගසූරිය, නීතිඥ සඳනි විජේන්ද්‍ර පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙය වන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT