ට්රයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් රුපියල් කෝටි එකහමාරකට අලෙවි කිරීමට යාමේදී සැකකරුවන් දෙදෙනකු මැදවච්චිය පහලගල්කන්දේගම ප්රදේශයේදී ඊයේ (22) ත්රිකුණාමලය, කුච්චවේලී වනජීවි කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉහල ගල්කන්දේගම, පූනෑව සහ පහළ ගල්කන්දේගම, පූනෑව පදිංචි 41 හැවිරිදි සහ 24 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.
අනුරාධපුර කඳවුරේ බුද්ධි අංශයට ලද බුද්ධි තොරතුරකට අනුව නීති විරෝධී ලෙස වාලම්පුරි දෙකක් එක්කෝටි හැට ලක්ෂයක මුදලකට අලෙවි කිරීම සඳහා මැදවච්චිය ප්රදේශයේ දෙදෙනෙකු සූදානම් බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි. මෙම වැටලීම සඳහා මැදවච්චිය අඩවි වන ජීවි නිලධාරි කාර්යාලයක් තිබුණඳ එයට සහ අනුරාධපුර වනජීවි කාර්යාලයටද තොරතුර ලබා නොදී ත්රිකුණාමලය, කුච්චවේලී වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැමිණ භාණ්ඩ සහ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මැදවච්චිය වනජීවී කාර්යාලයට වෙත භාර දී ඇත. වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 වන වගන්තියට අනුව අධි ආරක්ෂිත මුහුදු බෙල්ලන්ගේ කව සන්තකයේ තබා ගැනීම, ප්රවාහනය කිරීම, ප්රදර්ශනය කිරීම සහ අලෙවි කිරීම යන වරදවල් මුල්කර ගනිමින් මෙම සැකකරුවන් සඳහා නඩු පැවරීමට නියමිතව ඇත.