Tuesday, April 22, 2025
Home » මාතර හෙද විදුහලට රු.මිලියන 167 නව ගොඩනැගිල්ලක්

මාතර හෙද විදුහලට රු.මිලියන 167 නව ගොඩනැගිල්ලක්

by yasara
October 24, 2024 11:23 am 0 comment

මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය  අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය ඊයේ  (23) හෙද අධ්‍යාපන කටයුතු සදහා විවර කර දීමට කටයුතු කෙරිනි.

මාතර හෙද විදුහල සංවර්ධනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 410 ක මුල්‍ය ප්‍රතිපාදන මත ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අද දින සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය විවෘත කිරිම සිදු විය.

මීට ප්‍රථම රුපියල් මිලියන 165 ක වියදමින් නේවාසිකාගාර සංකීර්ණයක් සහ රුපියල් මිලියන 65 ක වියදමින් පරිපාලන ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කර ඇත. මෙම දේශණ ශාලා සංකීර්ණය ලබාදීමත් සමග මාතර හෙද විදුහල අංග සම්පූර්ණ හෙද විදුහලක් බවට පත්වේ.

වර්තමානය වන විට ළමුන් 425 ක් හෙද අධ්‍යාපනය ලබන මාතර හෙද විදුහලට ලැබුනු මෙම නව දේශණ ශාලා සංකීර්ණය දේශණ ශාලා 04 කින් සමන්විතය. එක් දේශණ ශාලාවක එකවර ළමුන් 100 කට ආසන්න ප්‍රමාණයකට දේශණවලට සවන් දීමේ හැකියාව ඇත.

පුස්තකාලයක්, තාක්ෂණික ඒකකයක්, ප්‍රායෝගික ක්‍රියාකාරම් අංශ 02 ක් සහ නවීන උපකරණ වලින් සමන්විත 200 කට පමණ රැස්විය හැකි ශ්‍රවණාගාරයක් ද මෙහි වේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ අද වනවිට මෙරට තිබෙන හොදම හෙද විදුහලක් සතු සියළු පහසුකම් මෙම හෙද විදුහලට ලැබී තිබෙන බවයි.

කලාපයේ රටවල් 11 ක් අතුරින් ඉහළම සෞඛ්‍ය සේවාව පවතින රට ලෙස මේ සියළු පහසුකම් ලබාදීම තුලින් පරිපූර්ණ හෙද නිලධාරිනියක් බිහි කරමින් මෙරට සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ඉළක්කයන් ද ජයගැනීම අරමුණ වන බව ද, එමගින් මෙරට රෝගී ජනතාවට වඩා හොද, ගුණාත්මක, ප්‍රශස්ත, රෝගී හිතකාමී සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකිවන බව ද පැවසීය.

උත්සව, සමරුපළක වලින් තොර විවෘත කිරීම් සිදු කරන අළුත් සංස්කෘතියක් සෞඛ්‍ය සේවාව තුල ඇති කර තිබෙන බවත්, අත්‍යාවශ්‍ය පුටු මිලදී ගැනිම සදහා රුපියල්  ලක්ෂ 35 ක මුදලක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) දිනිප්‍රිය හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එම්.සී.අයි හේරත්, මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න, මාතර හෙද විදුහලේ විදුහල්පතිතුමිය වන ගීතිකා නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂ ශේණියේ හෙද නිලධාරින්, හෙද පාලිකාවන්,  හෙද සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT