පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ ට්‍රෝලර් යාත්‍රාවක සඟවාගෙන හෙරොයින් කිලෝ 111යි ග්‍රෑම් 82ක් මෙරටට රැගෙන එමින් සිටියදී දකුණු මුහුදු තීරයේදී හෙරොයින් තොගය ද සමඟ අත්අඩංගුවට ගත් 17 දෙනකු අතරින් වරද පිළිගත් ඉරාන ජාතිකයන් 10 දෙනකුට මීගමුව මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා විසින් ඊයේ (23) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
මෙම විදේශිකයන් පිරිස ධීවරයන් ලෙස වෙස්වලාගෙන ට්‍රෝලර් යාත්‍රාවක් මඟින් ගාලු මුහුද තීරයේ හික්කඩුව දක්වා මෙම හෙරොයින් ද රැගෙන ගමන් කරමින් සිටියදී 2016 වසරේ අප්‍රේල් 01 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් නාවික හමුදාව හා එක්ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබිණි.
වරද පිළිගත් විදේශිකයන් 10 දෙනාට දඬුවම් නියම කළ විනිසුරුවරයා ඉතිරි හත්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි.
මෙම හත්දෙනා අතර පාකිස්තාන ජාතිකයන් 2ක්, සිංගප්පූරු ජාතිකයෙක්, ඉන්දියානු ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකිකයෝ තුන්දෙනෙක් සිටිති.
වර්ෂ 2016 සිට පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම නියෝගය ලබා දෙන ලදි.
ඉරාන ජාතිකයන්ට මෙම නියෝගය ප්‍රකාශ කිරීම සඳහා එම තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයන් ද අධිකරණයට පැමිණ අදාළ නියෝගය කියවා තේරුම් කර දෙන ලදි.
මනේෂ් වෑවිට, කපිල වෛද්‍යරත්න, ප්‍රසාද් චතුරංග, බුද්ධික ජයකොඩි, යශස් සෝවිස් යන නීතිඥ මහත්වරු සමඟ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ඉරාන ජාතිකයෝ වෙනුවෙන් පෙනී සිටියහ.