Home » BMW වාහන සිද්ධියට ජොන්ස්ටන් රිමාන්ඩ්
BMW වාහන සිද්ධියට

BMW වාහන සිද්ධියට ජොන්ස්ටන් රිමාන්ඩ්

by Gayan Abeykoon
October 24, 2024 1:30 am 0 comment

 සුභා­ෂිණී සේනා­නා­යක 

ප්‍රශ්න­ගත BMW වර්ගයේ මෝටර් රථ­යක් සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් දීමට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමිණි අව­ස්ථා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (23) නියෝග කළාය.

කොළඹ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝට­ල­යක රථ ගාලේ මෙම BMW වර්ගයේ මෝටර් රථය සැක­ක­ට­යුතු ලෙස නවතා තිබි­යදී සොයා­ගෙන තිබිණි.  ඊට අදා­ළව ප්‍රකා­ශ­යක් දීමට ඔහු ඊයේ (23) පෙර­ව­රුවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැමි­ණී­මෙන් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබූ අව­ස්ථාවේ සැක­ක­රුට එරෙ­හිව ඇත්තේ ඇප ලබා දිය හැකි වැරදි බව කිය­මින් සැක­ක­රුට ඕනෑම කොන්දේ­සි­යක් යටතේ ඇප ලබා දෙන ලෙස සැක­කරු වෙනු­වෙන් පෙනී­සිටි ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. ඇප දිය හැකි වර­දක් වුවද විම­ර්ශන සඳහා සාධා­රණ කාල­යක් ලබා දිය යුතු බව එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය කියා සිටි අතර ඒ අනුව සැක­කාර මන්ත්‍රී­ව­රයා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළාය.

සැක­ක­රුට අයත් බව කියන ප්‍රශ්න­ගත වාහ­නය මහා බ්‍රිතා­න්‍යයේ සොර­කම් කළ වාහ­න­යක් බවට ජාත්‍ය­න්තර පොලිස් දත්ත ගබ­ඩාවේ සඳ­හන් බවත් එම වාහ­නය මහා බ්‍රිතා­න්‍යයේ නඩු භාණ්ඩ­යක් බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර­මින් දන්වා සිටි­යේය.

‘එම වාහ­න­යට අදා­ළව චැසි අංකය නැහැ. මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තුවේ ලියා­ප­දිං­චිය සම්බ­න්ධ­යෙන් සොයා බැලුව ද එහි විස්තර සොයා ගැනී­මට නොහැකි වුණා. BMW වාහන අයත් සමා­ගමේ කළ­ම­නා­කාර කෞෂල්‍ය කැපේ­ආ­රච්චි මහ­තා­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා ගත්තා. ඒ අනුව එම වාහන 2015 වසරේ ජර්ම­නියේ නිෂ්පා­දිත වාහ­න­යක් බවත් අනා­ව­ර­ණය වුණා. එහි තිබූ බැටරි කාඩ්ප­තට අනුව එය මේ වාහ­නයේ බැට­රි­යක් ලබා ගත් ඉන්වො­යිස් පතක් බව අනා­ව­ර­ණය වූවා. එම වාහ­නය ලියා­ප­දිංචි කර තිබුණේ කොළඹ 2 ලිලි පාරේ පිහිටි සිටි හෝට­ලයේ නමින්. එහි කළ­ම­නා­කාර මොහො­මඩ් අන්සාෆ් යන අය­ගෙන් ද ප්‍රකාශ ලබා ගත්තා. මේ හෝට­ල­යත් සැක­ක­රුට අයත් එකක් බව විම­ර්ශන අනා­ව­ර­ණය කරා. ඔහුගේ සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රියා ඇතුළු පිරි­ස­ක­ගෙන් ගත් ප්‍රකාශ අනුව මේ වාහ­නය සැක­ක­රුගේ බවට අනා­ව­ර­ණය වෙනවා. සැක­කරු අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ගොනු කළ රිට් පෙත්සම මඟින් ඔහු වෙනු­වෙන් කරුණු දැක්වූ නීතිඥ මඬුල්ල මේ වාහ­නය සැක­ක­රුගේ බවට පිළි­ගෙන තිබෙ­නවා. මේ වාහ­නය එක­ලස් කළ වාහ­න­යක්. එය කුමන කාර­ණ­යක් යටතේ කවු­රුන් විසින් මෙර­ටට ගෙන්වන ලද්දක් ද ඊට සම්බන්ධ වූ පුද්ග­ල­යන් කවුද යන්න පුළුල් විම­ර්ශ­න­යක් සිදු කර­නවා. මේ වාහ­න­යට යොදා­ගත් අංක තහ­ඩු­වත් සොර­කම් කළ අංක තහ­ඩු­වක්. එම වාහ­නය සේවා කට­යුතු කර ඇති බව විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබෙ­නවා. මෙය මුදල් විශු­ද්ධි­ක­ර­ණය යටතේ ගැනෙන වර­දක්. අන්‍යෝන්‍ය සහ­යෝ­ගිතා පනත යටතේ අවශ්‍ය සහාය ලබා ගැනී­මට සූදා­නම්. ජාත්‍ය­න්තර පොලි­සි­යෙන් ප්‍රශ්න­ගත නඩු භාණ්ඩය සම්බ­න්ධ­යෙන් සහාය ඉල්ලා තිබෙ­නවා. මේ ප්‍රශ්න­ගත වාහ­නය මෙර­ටට ගෙනාවේ කෙසේද කොයි ආකා­ර­යෙන් ද යන්න දැඩි විම­ර්ශ­න­යක් කර­නවා. සිද්ධිය සම්බ­න්ධ­යෙන් තවත් දෙදෙ­නකු සැක­ක­රු­වන් ලෙස නම් කර­නවා’ යැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අධි­ක­ර­ණ­යට ඒ සම්බ­න්ධ­යෙන් කරුණු වාර්තා කර­මින් සඳ­හන් කළේය.

එසේ සැක­ක­රු­වන් ලෙස නම් කළ දෙදෙ­නාගේ විදේශ ගමන් තහ­නම් කරන ලෙසත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි අතර ඊට අව­සර ලැබිණි.

කොළඹ ප්‍රධාන පෙළේ හෝට­ල­යක වාහන අංග­ණයේ සැක­ක­ට­යුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථ­යක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මෙලෙස අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළ අතර එහිදී මෙසේ ද සඳ­හන් කළේය.

‘WP C 24-0430′ දරන ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථ­යක් හිල්ටන් හෝට­ලයේ වාහන අංග­ණයේ සැක­ක­ට­යුතු ලෙස නවතා ඇති බවට ලද තොර­තු­ර­කට අනුව එම ස්ථාන­යට ගොස් පරීක්ෂා කළ අදාළ BMW රථය පිළි­බඳ හෝට­ලයේ ආර­ක්ෂක කළ­ම­නා­ක­රු­ගෙන් සිදු­කළ විම­සී­මේදී හෝට­ලයේ දීර්ඝ කාල­යක සිට නවා­තැ­න්ගෙන සිටි ගාමිණී අබේ­රත්න නමැති පුද්ග­ලයා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර දින එම මෝටර් රථය එම ස්ථාන­යට ගෙනැ­විත් නවතා ඇති බව අනා­ව­ර­ණය වූයේ යැයි විම­ර්ශන නිල­ධා­රීන් කරුණු දැක්වුවා. ගාමිණී අබේ­ර­ත්න­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී පවසා ඇත්තේ, එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ­තාට අයත් බවත් පසුව රැගෙන යන බව පව­ස­මින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර කාර් රථය රියැ­දු­රකු අත හෝට­ල­යට එවූ බවත්ය. පසුව එම හෝට­ලයේ ආප­න­ශාලා කළ­ම­නා­කරු ලෙස සේවය කළ ප්‍රසිලා සමන්ති නැමැ­ත්තිය හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ­තාට දැනුම් දී කාර් රථයේ යතුර ගෙන්වා ගැනී­මට විම­ර්ශන නිල­ධා­රීන් කට­යුතු කර තිබෙ­නවා.’

මෝටර් රථය පරීක්ෂා කිරී­මේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ­තාට අයත් ලිය­කි­ය­විලි කිහි­ප­යක් BMW රථයේ තිබී හමු­වු­වත් මෝටර් රථය ලියා­ප­දිං­චි­යට අදාළ කිසිදු ලේඛ­න­යක් එහි නොතිබූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණය හමුවේ සඳ­හන් කළේය.

‘විම­ර්ශන නිල­ධා­රීන් විසින් BMW රථයේ ගරාජ් අංකය වූ WP C 24 – 0430 දරන අංකයේ ලියා­ප­දිං­චිය මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පරි­ක්ෂා­වට ලක්කි­රී­මේදී එහි හිමි­කා­රී­ත්වය සට­හන්ව ඇත්තේ, නාවල ප්‍රදේ­ශයේ පෞද්ග­ලික සමා­ග­මක්. පසුව එම සමා­ගමේ හිමි­ක­රු­ගෙන් සිදු­ක­රන ලද ප්‍රශ්න කිරී­මේදී ඔහු පවසා ඇත්තේ, එම මෝටර් රථයේ අංකය 2024 මාර්තු මාස­යේදී මෝටර් රථ ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් තමන් මුදල් ගෙවා ලබා­ගත්ත ද තමන්ට අයත් පෞද්ග­ලික ගුවන් විදුලි ආය­ත­න­යක තිබි­යදී කිසි­යම් තැනැ­ත්තකු එම අංක තහ­ඩුව සොරා­ගෙන තිබූ බවයි. පසුව එහි චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරික්ෂා කිරී­මේදී එම චැසි අංක­යට අදාළ වාහ­න­යක් නීත්‍ය­නු­කූ­ලව මෙර­ටට ආන­ය­නය කර නැති බව අනා­ව­ර­ණය වී තිබෙ­නවා. ඒ අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඉල්ලීම මත රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් පැමිණ ප්‍රශ්න­ගත කාර් රථය පරි­ක්ෂා­වට ලක් කරලා.

එහිදී අනා­ව­ර­ණය වූයේ මෙම කාර් රථය කොටස් එක­ලස් කර සකස් කරන ලද්දක් බවයි. එක­ලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථය භාවිත කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ­තාට අයත් කොළඹ පිහිටි හෝට­ලය නමට ඇති KM 5421 දරන කාර් රථයේ අංකය යොදා­ගෙන බව ද මෙම විම­ර්ශ­න­යේදී අනා­ව­රණ වී තිබෙ­නවා.’ යැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීහු අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් සඳ­හන් කළහ.

බදු වංචා කර­මින් නීති විරෝ­ධීව මෝටර් රථ­යක් ගෙන්වීම, ලියා­ප­දිංචි නොකළ මෝටර් රථ­යක් භාවිත කිරීම, සොරා ගන්නා ලද ගරාජ් අංක තහ­ඩු­වක් මෝටර් රථ­යට සවි කිරීම සහ වෙනත් මෝටර් රථ­යක අංක තහ­ඩු­වක් අත්අ­ඩං­ගු­වට ගන්නා ලද මෝටර් රථයේ සවි කර නීති විරෝ­ධීව භාවිත කිරීම යන වර­ද­වල් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.  මෙහිදී සැක­කරු වෙනු­වෙන් කරුණු දැක්වූ ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේ සැක­ක­රුට එරෙ­හිව ගොනු කර ඇති චෝදනා ඇප දිය හැකි වර­ද­වල් වන බවයි. තම සේවා­දා­ය­කයා දේශ­පා­ල­නයේ නිරත පුද්ග­ල­යකු බවත් මේ විම­ර්ශ­නය සඳහා ඔහුට දී ඇති ආර­ක්ෂක නිල­ධා­රීන්ගේ ලොග් සට­හන් පොත් කිසි­වක් විම­ර්ශන නිල­ධා­රීන් පරික්ෂා කර නැති බවත් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා කියා සිටි­යේය.

එසේ පරික්ෂා කරේ නම් එම වාහ­නය ගිය ස්ථාන වේලා­වල් සියල්ල අනා­ව­ර­ණය කර­ගත හැකි යැයි ද කියා සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා නඩු තීන්දු විශාල ප්‍රමා­ණ­යක් ඉදි­රි­පත් කර­මින් කරුණු දැක්වීය. තම සේවා­දා­ය­ක­යාට ඕනෑම කොන්දේ­සි­යක් යටතේ ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටි­යේය. දින­ප­තාම වුවද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටී­මට තම සේවා­දා­ය­කයා සූදා­නම් බවත් මෙවර මහ­මැ­ති­ව­ර­ණය සඳහා ඔහු නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂයේ කණ්ඩා­යම් නාය­කයා ලෙස ඔහු කට­යුතු කරන බව ද කියා සිටි­යේය.

දෙපා­ර්ශ්ව­යම ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය විම­ර්ශන සති­යක් තුළ අව­සන් කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කර­මින් සැක­කාර මන්ත්‍රී­ව­රයා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළාය.

පැමි­ණිල්ල වෙනු­වෙන් ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුගත් කුමාර, උප පොලිස් පරී­ක්ෂක විජේ­සූ­රිය, සැර­යන් කළු­බෝ­විල අධි­ක­ර­ණය හමුවේ පෙනී­සිටි අතර සැක­කාර මන්ත්‍රී­ව­රයා වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස්, මහතා ප්‍රමුඛ විවේක රත්නා­යක, නිරෝ­ෂණ සිරි­ව­ර්ධන, කාමන්ත ප්‍රේම­චන්ද්‍ර යන නීති­ඥ­වරු පෙනී සිටි­යහ.

ඡායාරූපය – රංජිත් අසංක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT