ප්‍රශ්නගත BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (23) නියෝග කළාය.
කොළඹ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක රථ ගාලේ මෙම BMW වර්ගයේ මෝටර් රථය සැකකටයුතු ලෙස නවතා තිබියදී සොයාගෙන තිබිණි. ඊට අදාළව ප්‍රකාශයක් දීමට ඔහු ඊයේ (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ සැකකරුට එරෙහිව ඇත්තේ ඇප ලබා දිය හැකි වැරදි බව කියමින් සැකකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඇප දිය හැකි වරදක් වුවද විමර්ශන සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතු බව එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටි අතර ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
සැකකරුට අයත් බව කියන ප්‍රශ්නගත වාහනය මහා බ්‍රිතාන්‍යයේ සොරකම් කළ වාහනයක් බවට ජාත්‍යන්තර පොලිස් දත්ත ගබඩාවේ සඳහන් බවත් එම වාහනය මහා බ්‍රිතාන්‍යයේ නඩු භාණ්ඩයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
‘එම වාහනයට අදාළව චැසි අංකය නැහැ. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සම්බන්ධයෙන් සොයා බැලුව ද එහි විස්තර සොයා ගැනීමට නොහැකි වුණා. BMW වාහන අයත් සමාගමේ කළමනාකාර කෞෂල්‍ය කැපේආරච්චි මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. ඒ අනුව එම වාහන 2015 වසරේ ජර්මනියේ නිෂ්පාදිත වාහනයක් බවත් අනාවරණය වුණා. එහි තිබූ බැටරි කාඩ්පතට අනුව එය මේ වාහනයේ බැටරියක් ලබා ගත් ඉන්වොයිස් පතක් බව අනාවරණය වූවා. එම වාහනය ලියාපදිංචි කර තිබුණේ කොළඹ 2 ලිලි පාරේ පිහිටි සිටි හෝටලයේ නමින්. එහි කළමනාකාර මොහොමඩ් අන්සාෆ් යන අයගෙන් ද ප්‍රකාශ ලබා ගත්තා. මේ හෝටලයත් සැකකරුට අයත් එකක් බව විමර්ශන අනාවරණය කරා. ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරියා ඇතුළු පිරිසකගෙන් ගත් ප්‍රකාශ අනුව මේ වාහනය සැකකරුගේ බවට අනාවරණය වෙනවා. සැකකරු අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම මඟින් ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මඬුල්ල මේ වාහනය සැකකරුගේ බවට පිළිගෙන තිබෙනවා. මේ වාහනය එකලස් කළ වාහනයක්. එය කුමන කාරණයක් යටතේ කවුරුන් විසින් මෙරටට ගෙන්වන ලද්දක් ද ඊට සම්බන්ධ වූ පුද්ගලයන් කවුද යන්න පුළුල් විමර්ශනයක් සිදු කරනවා. මේ වාහනයට යොදාගත් අංක තහඩුවත් සොරකම් කළ අංක තහඩුවක්. එම වාහනය සේවා කටයුතු කර ඇති බව විමර්ශන අනාවරණය කර තිබෙනවා. මෙය මුදල් විශුද්ධිකරණය යටතේ ගැනෙන වරදක්. අන්‍යෝන්‍ය සහයෝගිතා පනත යටතේ අවශ්‍ය සහාය ලබා ගැනීමට සූදානම්. ජාත්‍යන්තර පොලිසියෙන් ප්‍රශ්නගත නඩු භාණ්ඩය සම්බන්ධයෙන් සහාය ඉල්ලා තිබෙනවා. මේ ප්‍රශ්නගත වාහනය මෙරටට ගෙනාවේ කෙසේද කොයි ආකාරයෙන් ද යන්න දැඩි විමර්ශනයක් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනකු සැකකරුවන් ලෙස නම් කරනවා’ යැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.
එසේ සැකකරුවන් ලෙස නම් කළ දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබිණි.
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගණයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී මෙසේ ද සඳහන් කළේය.
‘WP C 24-0430′ දරන ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් හිල්ටන් හෝටලයේ වාහන අංගණයේ සැකකටයුතු ලෙස නවතා ඇති බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් පරීක්ෂා කළ අදාළ BMW රථය පිළිබඳ හෝටලයේ ආරක්ෂක කළමනාකරුගෙන් සිදුකළ විමසීමේදී හෝටලයේ දීර්ඝ කාලයක සිට නවාතැන්ගෙන සිටි ගාමිණී අබේරත්න නමැති පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින එම මෝටර් රථය එම ස්ථානයට ගෙනැවිත් නවතා ඇති බව අනාවරණය වූයේ යැයි විමර්ශන නිලධාරීන් කරුණු දැක්වුවා. ගාමිණී අබේරත්නගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවත් පසුව රැගෙන යන බව පවසමින් ජනාධිපතිවරණයට පෙර කාර් රථය රියැදුරකු අත හෝටලයට එවූ බවත්ය. පසුව එම හෝටලයේ ආපනශාලා කළමනාකරු ලෙස සේවය කළ ප්රසිලා සමන්ති නැමැත්තිය හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී කාර් රථයේ යතුර ගෙන්වා ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.’
මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ලියකියවිලි කිහිපයක් BMW රථයේ තිබී හමුවුවත් මෝටර් රථය ලියාපදිංචියට අදාළ කිසිදු ලේඛනයක් එහි නොතිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.
‘විමර්ශන නිලධාරීන් විසින් BMW රථයේ ගරාජ් අංකය වූ WP C 24 – 0430 දරන අංකයේ ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් පරික්ෂාවට ලක්කිරීමේදී එහි හිමිකාරීත්වය සටහන්ව ඇත්තේ, නාවල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක්. පසුව එම සමාගමේ හිමිකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, එම මෝටර් රථයේ අංකය 2024 මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තමන් මුදල් ගෙවා ලබාගත්ත ද තමන්ට අයත් පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක තිබියදී කිසියම් තැනැත්තකු එම අංක තහඩුව සොරාගෙන තිබූ බවයි. පසුව එහි චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරික්ෂා කිරීමේදී එම චැසි අංකයට අදාළ වාහනයක් නීත්‍යනුකූලව මෙරටට ආනයනය කර නැති බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ප්‍රශ්නගත කාර් රථය පරික්ෂාවට ලක් කරලා.
එහිදී අනාවරණය වූයේ මෙම කාර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවයි. එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථය භාවිත කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ පිහිටි හෝටලය නමට ඇති KM 5421 දරන කාර් රථයේ අංකය යොදාගෙන බව ද මෙම විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.’ යැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළහ.
බදු වංචා කරමින් නීති විරෝධීව මෝටර් රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිත කිරීම, සොරා ගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවි කිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථයේ සවි කර නීති විරෝධීව භාවිත කිරීම යන වරදවල් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. මෙහිදී සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේ සැකකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඇප දිය හැකි වරදවල් වන බවයි. තම සේවාදායකයා දේශපාලනයේ නිරත පුද්ගලයකු බවත් මේ විමර්ශනය සඳහා ඔහුට දී ඇති ආරක්ෂක නිලධාරීන්ගේ ලොග් සටහන් පොත් කිසිවක් විමර්ශන නිලධාරීන් පරික්ෂා කර නැති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
එසේ පරික්ෂා කරේ නම් එම වාහනය ගිය ස්ථාන වේලාවල් සියල්ල අනාවරණය කරගත හැකි යැයි ද කියා සිටි ජනාධිපති නීතිඥවරයා නඩු තීන්දු විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය. තම සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. දිනපතාම වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට තම සේවාදායකයා සූදානම් බවත් මෙවර මහමැතිවරණය සඳහා ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයේ කණ්ඩායම් නායකයා ලෙස ඔහු කටයුතු කරන බව ද කියා සිටියේය.
දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සතියක් තුළ අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් සැකකාර මන්ත්‍රීවරයා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් කුමාර, උප පොලිස් පරීක්ෂක විජේසූරිය, සැරයන් කළුබෝවිල අධිකරණය හමුවේ පෙනීසිටි අතර සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, මහතා ප්රමුඛ විවේක රත්නායක, නිරෝෂණ සිරිවර්ධන, කාමන්ත ප්‍රේමචන්ද්‍ර යන නීතිඥවරු පෙනී සිටියහ.
ඡායාරූපය – රංජිත් අසංක