ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මහජන නියෝජිතයින් 225කින් සැදුම් ලද්දකි. ඉන් 196ක් (87%ක්) සෘජුවම ඡන්දයෙන්, දිස්ත්‍රික්ක 24න් තෝරාගන්නා අතර 29 දෙනකු (13%ක්) වක්‍රව ජාතික ලැයිස්තුව යටතේ තේරී පත් වෙයි. මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196 දෙනෙක් සහ එක් එක් දේශපාලන පක්ෂය මහමැතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට සමානුපාතිකව හිමිවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29ක් ලෙස මුළු මන්ත්‍රීවරුන් 225 දෙනකුගෙන් සමන්විත වේ.
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මඟින් මෙරටට හඳුන්වා දෙන ලද සමානුපාතික නියෝජන ක්‍රමයේ ප්‍රධාන අංගයක් ලෙස ජාතික ලැයිස්තු ක්‍රමය 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1988 මැයි 24 හඳුන්වා දෙන ලදි.මෙම ක්‍රමය ප්‍රථම වරට 1989 දී භාවිතයට ගන්නා ලදි.
1989 වසරේ සිට අද දක්වා සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල දී ජාතික ලැයිස්තුව මඟින් විවිධ ආකාරයේ පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම හිමි වුවද, ඉන් බහුතරයක් දෙනා ජනතාව අපේක්ෂා කළ අන්දමේ පුද්ගලයන් නොවීය.1989-2019 අතර කාල සමයේ දී බොහෝ දුරට සිදු වූයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ හිතවතුන්ට හෝ ඡන්දයෙන් පරාජය වී සිටින හිතවතුන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකර දීමකි. ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට ජනතා ඡන්දයෙන් පරාජය වුණු අපේක්ෂකයන්ට යළි පාර්ලිමේන්තු වරම් හිමිකර දීම ජනතා පරමාධිපත්‍යය බලය හෑල්ලු කිරීමක් ලෙස දැක්විය හැකිය.
මෙසේ ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රීවරුන් නම් කිරීමට අවස්ථාව ලබාදීමේ අපේක්ෂාව වූයේ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට දායකවීමට සුවිශේෂී හැකියාව ඇති, එහෙත් ක්‍රියාකාරි දේශපාලනය ඔස්සේ ඒ සඳහා තේරී පත් විය නොහැකි, විද්වත් පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළත් කර ගැනීමයි.ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රීවරුන් නම් කිරීම සම්බන්ධ නීති තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(අ) ව්‍යවස්ථාව මඟින් දක්වා තිබේ.
පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේදී ඡන්ද දායකයන් ජන්දය ප්‍රකාශ කරනුයේ පක්ෂය සඳහාය.එහිදී ඡන්දදායකයාට එක් ඡන්දයක් පමණක් හිමි වේ. මෙහිදී පක්ෂය විසින් මැතිවරණය සඳහා අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතු අතර එයට අතිරේකව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සදහා ලේඛනයක්ද එම පක්ෂය විසින් ඉදිරිපත් කළ යුතුයි.මෙහිදී පක්ෂයට ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමට අවශ්‍ය ජන්ද සංඛ්‍යාවෙන් බෙදීමෙන් එම පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව තීරණය වේ. මහමැතිවරණයේදී ඒ ඒ පක්ෂ මුළු දිවයිනේම ලබා ගන්නා ඡන්ද අනුපාතයට අනුව ඛෙදා දෙනු ලබන හිමිකම් ප්‍රමාණයක් ඇත. මෙම වලංගු ඡන්ද සංඛ්‍යාව 29න් බෙදා නියෝජනයට හිමි ඡන්ද සංඛ්‍යාව සොයාගනී. පසුව පක්ෂය ලබා ගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව වෙන වෙනම ගෙන ජාතික ඡන්ද අනුපාතයෙන් බෙදීම යටතේ නියෝජන 29 බෙදී යන ආකාරය තීරණය කළ යුතු වේ.
පසුව මැතිවරණ කොමසාරිස් දේශපාලන පක්ෂයක නම් එහි ලේකම්වරයාට ද, ස්වාධීන කණ්ඩායමක නම් එහි නායකයාට ද සුදුස්සන් නම් කර යැවීමෙන් ජාතික ලැයිස්තුවේ 29 දෙනා පත්වීම සම්පූර්ණ වේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගැනීම සඳහා යෝජිත නාමලේඛනයක් එක් එක් දේශපාලන පක්ෂය විසින් මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දෙන මොහොතේ ම මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.මැතිවරණය අවසන්වීමෙන් පසුව එක් එක් දේශපාලන පක්ෂය විසින් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව ඔවුන්ට හිමිවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
ජාතික ලැයිස්තුවේ ඇතුළත් නම් අතරින් හෝ එක් එක් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට තරග වැදුණු අනෙකුත් අපේක්ෂකයන්ගේ නම් අතරින් තම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දිය යුතුයි.
මහමැතිවරණය පැවැත්වීමෙන් පසු ජාතික ලැයිස්තුව සඳහා යෝජිත නාම ලේඛනය සංශෝධනය කිරීමට දේශපාලන පක්ෂවලට අවස්ථාව ඇත. එහි දී තම පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇතුළත් වන්නේ කවුරුන්ද යන්න දැනුම්දීමේ අවසන් බලය දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමක කණ්ඩායම් නායකයාට පවතී.එබැවින් මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් අහිමි වූ අපේක්ෂකයෙකුගේ නම් වුවද ඒ සඳහා යෝජනා කළ හැකිය.
ජාතික ලැයිස්තු ක්‍රමයේ ප්‍රධාන අරමුණ වන්නේ උගත්, බුද්ධිමත් පුද්ගලයන්ගේ සහාය පාර්ලිමේන්තුව සඳහා ලබා ගෙන විධිමත්, අර්ථවත්,වැඩදායි හා විශ්වාසදායි ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගැනීමයි.එහිදී රටේ සිටින උගත් මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු,ඉන්ජිනේරුවන් හා ඒ ඒ කේෂ්ත්‍රවල නිපුණයන් ආදී බොහෝදෙනකු යොදවා ගැනීම තුළින්,ඔවුන්ගේ අදහස් අනුගමනය කරමින් දියුණු රටක් බිහිකිරීම ප්‍රධාන අරමුණයි.
ජාතික ලැයිස්තු ක්‍රමයේ අරමුණු මුල් කාලයේ යම්තාක් දුරට ඉටු වුවද වර්තමානයේ එම අරමුණු කොළයට පමණක් සීමා වන ප්‍රායෝගිකව ඉටු නොවන දෙයකි.මේ තත්ත්වය තුළ තමන්ට පැවරුණු රටේ අනාගතය, සංවර්ධනය, පුරවැසියන්ගේ අභිලාෂ, අභිමතාර්ථ ඉටු කිරීමක් වර්තමානයේ දැකගත නොහැකිය.
රාජ්‍ය පාලනයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන නියෝජිතයන් උගත්, බුද්ධිමත් පිරිසක් විය යුතු බවත්,මහජන ඡන්දයෙන් පරාජයට පත්වන පුද්ගලයන් නොවිය යුතුය.බොහෝ විට වර්තමානයේ සිදු වන්නේ දූෂිතයින් ජනතාව විසින් පාලනයෙන් නෙරපා හරින විට ජාතික ලැයිස්තුවෙන් යළි පාලනය සඳහා බඳවා ගැනීමකි.
මෙසේ ලැයිස්තු ක්‍රමය මඟින් සාමාජිකයන් බඳවා ගැනීමේදී රටේ සංවර්ධනය උදෙසා කාර්යශූරය නියෝජිතයන් ලෙස තරුණ පරපුර ද සහ ඒ ඒ ක්ෂේත්රවල විද්වත් පිරිස ජාතික ලැයිස්තුවට පත් කර ගැනීම තුළින් වඩා යහපත් දේශපාලන ක්‍රමයක් පවත්වා ගැනීමට උපකාරි විය හැකිය.
පසුගිය වසරවල මැතිවරණවලදී විවිධ පක්ෂ ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවලට වඩා යම් ප්‍රගතියක් මෙවර පක්ෂවල දැකගත හැකිය.එනම් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්,කාන්තාවන්,වෘත්තිකයන්,තරුණයින්,ව්‍යවසායකයින්,ගුරුවරුන්,ආචාර්ය, මහාචාර්යවරුන් දැකගත හැකිය.එසේම මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට ආබාධිත ප්‍රජාව නියෝජනය කරමින් පුද්ගලයෙක්ද ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු නාමලේඛනයට ඇතුළත් කර ඇත.එයද සුවිශේෂී තත්ත්වයකි.
පසුගිය කාලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අවභාවිත කරමින් ඡන්දයෙන් ජනතාව විසින් පරාජය කළ දේශපාලනඥයින් නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමක් අපට දක්නට ලැබුණි.නමුත් මෙවර 2024 මහාමැතිවරණයේ දී එම වරද නිවැරදි කරගෙන ජාතික ලැයිස්තුව නම් ක්‍රමයට සාධාරණයක් ඉටුකරනු ඇතැයි රටේ ජනතාව අපේක්ෂා කරනු ලබති.
රුවන් පුෂ්ප කුමාර