1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය මෙරට දේශපාලනයේ තවත් වැදගත් අවස්ථාවක් සේ සැලැකිය හැකි ය. මේ වන විට අසල්වැසි ඉන්දියාවේ දේශපාලනය පවා ස්ථාවර තත්ත්වයක නොපැවැති අතර බ්‍රිතාන්‍ය නායකයන් ඉදිරිපත් කළ බොහෝ යෝජනාවලට ඉන්දීය නායකයෝ විරුද්ධ වූහ. පස්වන ජෝර්ජ් රජතුමා එවකට එංගලන්තය පාලනය කළ අතර රජුගේ උපදෙස් මත යටත්විජිතවලට දේශපාලන යෝජනා ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ නායකයන් ස්වරාජ්‍ය සඳහා සටනක යෙදී සිටිය ද එංගලන්ත කිරීටයේ ඇතැම් යෝජනා උපාය මාර්ගිකව පිළිගෙන පියවරෙන් – පියවර සිය ස්වාධීනතාව තහවුරු කර ගන්නට වෑයමක යෙදුණු බව පෙනෙයි. එංගලන්ත නායකත්වය ශ්‍රී ලංකාවේ නායකයන්ගේ ස්ථාවරය පැසසුමට ලක් කර ඇත.
නව ආණ්ඩුක්රමය ගැනත්, රාජ්‍ය මන්ත්‍රණ සභාව ගැනත් කරුණු සඳහන් කළ එංගලන්තය ශ්‍රී ලංකාව වෙනත් යටත්විජිතවලට වඩා සැලැකිය යුතු නිහදසක් ලබා ඇති බවත්, අඩුපාඩු ඇතොත්; ඉදිරියේදී සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳාගත හැකි බවත් සඳහන් කර තිබේ. එහෙත්; භූගෝලීය සාධක හා ජනවාර්ගික පදනම සාධක කර ගනිමින් ඡන්ද කොට්ඨාස ඇති කිරීම ගැනත් ඇතැම් ස්වදේශික නායකයන්ගේ විරෝධය පළ වී තිබිණි. එහිලා විවේචනයට ලක් වූ ප්‍රධාන කාරණය වූයේ අධිරාජ්‍යවාදීන්ගේ ජාතීන් බෙදා වෙන්කර පාලනය කිරීමේ දේශපාලන උපාය මාර්ගයට මේ මඟින් සහයෝගයක් ලැබෙන බවය.
ඉංග්‍රීසීන්ගේ සියලුම දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා නිරීක්ෂණය කරන විට ඒ සෑම යෝජනාවක්ම ජාතිය හෝ වර්ගය හෝ සාධකයක් ලෙස සැලැකිල්ලට ලක්කර ඇතැ’යි ඇතැම් දේශපාලන විචාරකයෝ සඳහන් කරති. මේ වර්ගවාදී ප්‍රතිපත්තියට ප්‍රසිද්ධියේ විරුද්ධවීමට තරම් සමහරු එඩිතර වූහ.
ඉංග්‍රීසි පාලනය යටතේ අපට ලැබුණු වාසිදායක ජයග්‍රහණ කිහිපයක් ගැන ද සඳහන් කිරීම වැදගත්ය.
(I)ප්රජාතන්ත්රවාදය හඳුන්වා දීම
(II)සර්වජන ඡන්ද බලය දිනා ගැනීම
(III)ප්‍රවාහන – මහාමාර්ග ඇතුළු පොදු පහසුකම් දියුණුවීම.
ප්රජාතන්ත්රාදයේ වැදගත් ම ලක්ෂණය ලෙස සැලැකිය හැක්කේ රටක මහජනයාට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් හවුල්වීමේ අවස්ථාවක් ලැබීමය. නූතන ප්රජාතන්ත්රවාදය බොහෝසෙයින් ම නිදහස් හා මානුෂීය අයිතීන් සුරක්ෂිත කරන සංකල්පයක් හා වැඩසටහනක් ලෙස හඳුන්වනු ලැබේ. යටත් විජිතයක් ව පැවැති ශ්‍රී ලංකාවට කෙටි කාලයකින් එම ජයග්‍රහණය ලැබීමට හැකියාව ලැබිණි. 1931 මැතිවරණය ඒ ගමන් මඟෙහි වැදගත් අවස්ථාවක් සේ සැලැකිය හැකි ය. මැතිවරණ කොට්ඨාස දහසයක් සඳහා මෙහිලා ඡන්ද සටන පැවැත්විණි.
ඒ වන විට දේශපාලන පක්ෂ වශයෙන් නොව; පුද්ගල – චරිත වශයෙන් නියෝජිතයන් ඉල්ලුම් කිරීම සිදු විණි. එනම්; එකිනෙක කොට්ඨාසවල සමාජ වීරයෝ තරගයට ඉදිරිපත් වූහ. සමාජ සේවා කටයුතු, උගත්කම, පවුල් පසුබිම ආදිය මෙහිදී ඡන්දදායකයන්ගේ සැලැකිල්ලට ලක් වූ බව කිව යුතුය.
එකල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, ඡන්ද ගණන් කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම මන්දගාමී ලෙස සිදු වූ අතර පළමු ප්‍රතිඵලය ලෙස නිකුත් වූයේ හොරණ කොට්ඨාසයේ ඡන්ද ප්රතිඵලයයි. එහිලා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා සිටියේ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාය. ඔහු නීතිඥයකු වූ අතර ඉංග්රීසින්ගේ යුදමය පාලනයට එරෙහිව එංගලන්තයට ගොස් කරුණු දැක්වීමට තරම් නිර්භීත චරිතයක් විය. හොරණ පළාතේ ජනතාවගේ විශේෂ ගෞරවයකට හිමිකම් කී පෙරේරා මහතාගේ ඡන්ද ප්‍රතිඵලය පුවත්පත් වාර්තා කර තිබුණේ හොරණ ජනතාවගේ කෘතගුණ සැලකීමක් හැටියටය. මොරවක ආසනයෙන් ඇස්.ඒ.වික්‍රමසිංහ මහතා ද ගම්පහ ආසනයෙන් ඩී.පී.ජයසූරිය මහතා ද වැඩි ඡන්දයෙන් තේරී පත්වූහ. පුවත්පත් වාර්තා කර තිබූ අන්දමට ජනතාව ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉදිරිපත් වී ඇත.
යාපනේ නායකයන් මෙන් ම ජනතාව ද ආණ්ඩුක්‍රම යෝජනා හා ඡන්දය ප්‍රතික්ෂේප කරමින් වර්ජනයක් ක්‍රියාත්මක කළ බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක නිරත වූ ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ දේශපාලන තත්ත්වය වටහාගෙන යාපනේ ජනතාව මැතිවරණය සඳහා එකඟතාවකට පැමිණියහොත් නැවත වරක් නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී ඡන්දය පැවැත්වීමට සූදානම් බවය. එය වැදගත් ප්‍රකාශයක් හා තීරණයක් සේ සැලැකිය හැකිය.
නිදහස හා ස්වජාතික රාජ්‍යය වෙනුවෙන් සියලු ජාතීන් එක්ව පොදු සටනක් හෙවත් අරගලයක් කළ යුතුව තිබුණ ද, ඉතිහාසය තුළ එය සිදු වී නැත. දේශපාලන නිදහස වෙනුවෙන් සියලු ජාතීන් යම් සටන්කාමී ස්ථාවරයක සිටියද, එය දෘෂ්ටිමය වශයෙන් ද සැලැසුම් සහගතව ද ඉදිරියට ගෙන යෑමේ හැකියාව හා දැනුම එදා අපේ ජාතික නායකයන් ළඟ තිබුණේ නැත. ජාතික නායකයන්ගෙන් වැඩි දෙනා ක්‍රියා කර ඇත්තේ කළු සුද්දන් ලෙස යැයි විවේචනයක් ද ඉදිරිපත් කළ හැකිය.
1908 සිට 1948 තෙක් සිදු වූ ඇතැම් වර්ගවාදී අරගල හා හර්තාල්වලින් පෙනී යන්නේ සටන්කාමීන්ගේ දේශපාලන දැක්ම පිළිබඳ දුර්වලතාවයි. පසුකලෙක වර්ගවාදී යුද්ධයක් ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස ද මෙය හැඳින්විය හැකියි.
1931 මන්ත්‍රණ සභාව හා එම මැතිවරණය මෙරට වරප්‍රසාද ලත් ස්වදේශික පන්තියේ හා එංගලන්ත නිලධාරීන්ගේ ජයග්‍රහණයක් මිස ස්වදේශික ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස සැලකෙන්නේ නැත.
රන්ජන් අමරරත්න