Monday, April 21, 2025
Home » සවිනක සහ පංචාලි කැන්ඩි බැඩ්මින්ටන් ශූරතා දිනති

සවිනක සහ පංචාලි කැන්ඩි බැඩ්මින්ටන් ශූරතා දිනති

by sachintha
October 23, 2024 1:47 am 0 comment

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අංශයේ ශූරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත්වූ අතර, පන්චාලි අධිකාරි කාන්තා විවෘත ඒකල ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය.

මහනුවර, රජවැල්ල, දිගන පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේදී පළමු මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැති මේ තරගාවලියේ පිරිමි විවෘත ඒකල අවසන් මහා තරගයේදී සවිනක වීරසේකර විසින් සනුද ඉමල් ආරියවංශ ලකුණු 21-14ක් සහ 21-15ක් ලෙස පරාජය කළ අතර, කාන්තා විවෘත ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 20-22ක්, 21-12ක් සහ 21-14ක් ලෙස සෙනදි දහම්සා ද සිල්වා පරාජය කිරීමට පන්චාලි අධිකාරි සමත් වූවාය.

තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව ඇලන් දර්මසාපුත්‍ර සහ මාර්සිලෝ විටෝරියෝ විසින් දිනාගනු ලැබුවේ ලකුණු 21-10ක්, 19-21ක් සහ 21-17ක් ලෙස තෙනුක සත්සර ද සිල්වා සහ තරූෂ මධුබානු පරාජය කරමිනි. ලකුණු 21-16ක් සහ 21-12ක් ලෙස නිලසි සියාරා බාලසූරිය සහ ජනනුවනි අමන්දා ද සිල්වා පරාජය කළ හසිනි නුසාකා සහ හසාරා විජයරත්න විවෘත කාන්තා යුගල ශුරතාව දිනා ගත්හ.

විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 19-21ක්, 24-22ක් සහ 21-12ක් ලෙස මාර්සිලෝ විටෝරියෝ සහ රනුමි සුහස්නි මානගේ පරාජය කළ ඇලන් දර්මසාපුත්‍ර සහ පන්චාලි අධිකාරි විසිනි.

තරගාවලියේ අවුරුදු 19න් පහළ තරග අංශයේ බාලක ඒකල ශූරතාව දිනා ගැනීමට රෙෂාන් හරිත් දිඹුක්වැල්ලගේ සමත් වූයේ ලකුණු 22-20ක් සහ 21-13ක් ලෙස පමිත් බණ්ඩාර පරාජයට පත් කරමිනි. රනුමි සුහස්නි මානගේ ලකුණු 21-14ක්, 10-21ක් සහ 21-17ක් ලෙස පරාජය කළ රුක්ෂිකා බාස්කරන් එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල ශුරතාව දිනා ගත්තාය.

රිතිර සෙන්දිල් අභයගුණවර්ධන සහ තෙනුල් රන්සජ ගනේවත්ත විසින් ලකුණු 21-19ක්, 17-21ක් සහ 21-12ක් ලෙස විදුන් ද මෙල් සහ ඩිලංක ඉඳුසර පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල ශූරතාව දිනාගත් අතර, ලකුණු 21-15ක් සහ 21-15ක් ලෙස තරුලි මෙත්සරා දිසානායක සහ හිරන්යාා කේතකී නානයක්කාර පරාජය කළ මෙතුලි අමායා නවරත්න සහ මිනූෂා අභිමානි පද්ම බණ්ඩාර බාලිකා යුගල ශූරතාවට හිමිකම් කීහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT