ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ තරුණ ප්‍රජාවයි. 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ ජනගහනය දළ වශයෙන් මිලියන 5.125ක් වන අතර එය මුළු ජනගහනයෙන් 23.6% ක් පමණ වන බව සංගණන වාර්තාවන්හි සඳහන් වේ. ඒ තුළ පාසල් සිසුන්, උපාධි අපේක්ෂකයින්, තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනවල සිසුන්, රැකියා සහ රැකියා විරහිත තරුණයින්, ආබාධ සහිත තරුණයින්, රැඳවූවන් සහ ආදිවාසී තරුණයින් ඇතුළු ශ්‍රී ලංකාවේ තරුණ ජනගහනයේ විවිධ කොටස් නියෝජනය කරයි. මෙම තරුණ කොටස් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් ඔස්සේ සමානාත්මතාවයෙන් සංරක්ෂිත සමාජයක් පෝෂණය කරමින් ජාතික සංවර්ධනයට සක්‍රියව සහභාගී කරවා ගැනීමට අවශ්‍ය කුසලතාවලින් සන්නද්ධ කිරීම වැදගත් වේ. මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් වී ඇති මොහොතක ශ්‍රී ලංකාව වර්තමාන හා අනාගත දිශානතියෙහි තීරණාත්මක සාධකයක් ලෙස මැතිවරණයන් සඳහා වන තරුණ සහභාගීත්වය සැලකිය හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් අගයන රාජ්‍යයන් තුළ තරුණයින් ඍජු හා වක්‍ර ලෙස රටේ පාලන තන්ත්‍රයට සහභාගී කරවා ගැනීම අනාගත අපේක්‍ෂාවන් හඳුනා ගැනීමේ, දේශපාලන චර්යාවන් වෙනස් කර ගැනීමේ හා මහජන මතය තීව්‍ර කිරීමේ සාධනීය ප්‍රවේශයක් ලෙස තරුණ ඡන්දදායකයා හඳුනාගත හැකිය. නමුත් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සිට සමස්ත මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම දක්වා කරුණු විමසීමේ දී ඉතා අලස හා පසුගාමී බවක් දක්වන බව ඔවුන්ගේ චර්යාවන් පිළිබඳ විමසීමේ දී පෙනී යයි. මෙම තත්ත්වය ඉතාමත් අභියෝගාත්මක වන අතර එය රටේ සමාජ හා ආර්ථික ප්‍රශ්නවල සිට දේශපාලන අපේක්ෂා භංගත්වය දක්වා විහිදෙන රටට ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස තරුණ අසහනය, අක්‍රිය දේශපාලන සහභාගීත්වය, දේශපාලන අභිලාෂයන් නොමැති වීම, අපේක්‍ෂා භංගත්වයෙන් යුත් තරුණ පරපුරක් නිර්මාණය වීම දැකගත හැකිය. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි මැතිවරණයන් තුළ තරුණ ඡන්දදායකයින් සක්‍රියව සහභාගී වීමෙන් රාජ්‍ය පාලනය වඩාත් හිතකර, කාර්යක්ෂම හා ඵලදායී අයුරින් මෙහෙයවීමේ හැකියාව පවතියි. එම තත්ත්වය තරුණයින් සඳහා අවබෝධ කර දීමේ මෙවලම් රාජ්‍ය යන්ත්‍රණය විසින් සකස් කර දිය යුතු කාලය ද එළඹ ඇත.
රටක දිගුකාලීන වෙනසක් ඇති කිරීම සඳහා, තරුණ තරුණියන් විධිමත් දේශපාලන ක්‍රියාවලීන්හි නියැළී සිටීම වර්තමානයට මෙන්ම අනාගතයට ද එයාකාරයෙන් ම වලංගු වේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ රටේ තරුණ ප්‍රජාවට සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් වන සවිඥානික බව පිළිබඳ පවතින අවබෝධයයි. එහිදී පුරවැසියන් ලෙස දේශපාලනික සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පමණක් නොව ස්ථාවර සහ සාමකාමී සමාජයක් ගොඩනැඟීමට සහ තරුණ පරම්පරාවල විශේෂිත අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන ප්‍රතිපත්ති වර්ධනය කිරීම සම්බන්ධයෙන් පරිණත දේශපාලනයෙහි ක්‍රියාකාරීත්වය ද බලපෑම් කරනු ලබයි. තරුණ ප්‍රජාව දේශපාලනය තුළ සක්‍රියව සහභාගී කර ගැනීම සඳහා වන දේශපාලන චර්යාව හා තරුණ මතය සඳහා වන ඉඩප්‍රස්ථා නිර්මාණය කිරීම මෙන්ම ඔවුන්ගේ හඬ සමාජගත කිරීම සඳහා වන වේදිකාවක් සකස් කිරීම ද අවශ්‍ය වේ. දේශපාලන ආයතන, ක්‍රියාවලීන් සහ තීරණ ගැනීමේ දී සහ විශේෂයෙන්ම මැතිවරණවලදී තරුණ තරුණියන්ට ප්‍රමාණවත් ලෙස නියෝජනය වීමට නම්, ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ලබාදිය යුතු වන අතර, සෑම තරාතිරමක්ම නියෝජනය වන පරිදි අර්ථවත් ලෙස සහභාගී වීමට අවශ්‍ය දැනුම සහ හැකියාව තරුණ තරුණියන්ට ලබාදිය යුතුය.
එහිදී මැතිවරණ සහ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිවිල් අධ්‍යාපනය තරුණ ප්‍රජාව වෙත ලබාදිය යුතු වේ. මැතිවරණ හා සම්බන්ධ සිවිල් අධ්‍යාපනය මඟින් නිදහස්, සාධාරණ, කාර්යක්ෂම සහ ලාභදායී මැතිවරණයක් පැවැත්වීමේ කර්තව්‍යයේදී මැතිවරණ පරිපාලනයට ඡන්දදායකයා සහාය විය යුතු ආකාරය පිළිබඳ මූලික අවබෝධය ලබා දෙයි. මැතිවරණවලට සහභාගී වීමේ වැදගත්කම පිළිබඳව ඡන්දදායකයන් දැනුවත් කරයි. එමෙන්ම පුරවැසියන් අතර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලබන උත්තේජනයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලබන ආකල්ප, හැසිරීම් සහ දැනුම පිළිබඳ අවබෝධය ලබා දෙයි. සාමකාමී මැතිවරණයක් සඳහා පුරවැසියන්ගේ හැසිරීම, ප්‍රතිඵල පිළිගැනීම සහ තරගය සහ විරුද්ධ මත හා අභිලාෂයන් ඉවසා සිටීම එනම් ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම යනාදිය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තරුණයින් වෙත ලබාදීම සඳහා සිවිල් අධ්‍යාපනය සුවිශේෂී කාර්යයක් සිදු කරයි. නමුත් ශ්‍රී ලංකාව තුළ මෙම මැතිවරණ ආශ්‍රිත සිවිල් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන නොදැනුවත්භාවය මෙන්ම සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය තුළින් ඇති කරන ලද පසුගාමී දේශපාලන හා සමාජ ආකල්පය ද මැතිවරණ ආශ්‍රිත තරුණ සහභාගීත්වය අවම මට්ටමක පැවතීමට ඍජුව බලපෑම් කර ඇති බව පෙනී යයි.
තවද ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඡන්ද හැසිරීමට බලපාන ප්‍රධාන අභියෝගයක් වන්නේ දේශපාලන කලකිරීම සහ උදාසීනත්වයයි. තම ඡන්දය අර්ථවත් වෙනසක් ඇති නොකරනු ඇතැයි විශ්වාස කරන බොහෝ තරුණ තරුණියන් දේශපාලන ක්‍රමයෙන් ඈත් වී සිටින බවක් පෙනී යන්නේ අවම තරුණ ඡන්ද භාවිතාවයි.
එමෙන්ම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විසින් ඇතිකරන ලද තරුණ අපේක්ෂා භංගත්වය තරුණයින් අතර අඩු ඡන්ද ප්‍රතිශතයක් නිර්මාණය කිරීමට හේතු විය හැක. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් තරුණ ඡන්ද අවභාවිත කරයි යන හැඟීම තුළ ඡන්දය ප්‍රකාශ කිරීම නිෂ්ඵල බවට තක්සේරු කරමින් පවතින දේශපාලන ක්‍රමයට එරෙහි විරෝධතා ආකාරයක් ලෙස තරුණයින් ඡන්දය ප්‍රකාශ නොකිරීමට තීරණය කළ හැකිය. එබැවින් තරුණ ප්‍රජාව විසින් ඔවුන්ගේ ඡන්දයට වටිනාකමක් ලබාදීම සහ තරුණයින් තුළ විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා පාලකයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ තරුණ අභිලාෂයන් නියෝජනය වන ආකාරයේ තීන්දු තීරණ ගැනීම පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතු වේ.
දේශපාලන නායකත්වය තුළ මෙන්ම රාජ්‍ය යන්ත්‍රණය තුළ පරිපාලන තනතුරුවල තරුණ නියෝජනය අවම වීම තුළින් තීරණ ගැනීමේ ක්‍රියාවලියට තරුණයින් සහභාගීවීමට ඇති ඉඩප්‍රස්ථා නොමැති වීම තුළ දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා සක්‍රියව තරුණයන් සහභාගී වීම අවම කරයි. මෙම නියෝජනය නොමැතිකම තරුණ තරුණියන් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම අධෛර්යමත් කළ හැකි තවත් ප්‍රබල සාධකයකි. එමෙන්ම වර්තමානයේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය බොහෝ තරුණ තරුණියන්ට තොරතුරු සපයන ප්‍රවේශය වන අතර වැරදි තොරතුරු සහ දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් යුත් තොරතුරු හුවමාරු වීම සම්බන්ධයෙන් තරුණයින් විසින් අවධානයෙන් සිටීම ද වැදගත් වේ. කෙසේ වෙතත් මැතිවරණ කාලසීමාව තුළ, තරුණයින් ඉලක්ක කරගත් සිවිල් අධ්‍යාපන ව්‍යාපාරයන් ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා සහ ජංගම යෙදුම් හරහා සක්‍රිය කරමින් ක්‍රියාත්මක කළ හැකිය. මෙම ප්‍රචාරණ මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම, ලියාපදිංචි විය යුතු ආකාරය සහ විවිධ දේශපාලන පක්ෂ හා ඒවායේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ සරල, ආකර්ෂණීය තොරතුරු සැපයිය හැකිය. අන්තර්ජාල යෙදුම් උපයෝගී කර ගනිමින් මැතිවරණ ක්‍රියාවලිය, ඡන්ද අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු මෙන්ම තරුණයින්ට ඡන්දය දීමට මතක් කිරීමේ මෙවලම් ඇතුළත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණ ක්‍රියාවලියෙහි පවතින සුවිශේෂීත්වය හා වටිනාකම පිළිබඳ නූතන තාක්ෂණය හරහා අවබෝධ කර දීම කාලීන වශයෙන් වැදගත් වේ.
රුවන් පුෂ්පකුමාර