Home » තම-රට රැක ගන්න ඡන්දය ලැබේ!

තම-රට රැක ගන්න ඡන්දය ලැබේ!

by sachintha
October 23, 2024 2:00 am 0 comment

මට හිමි එකම වස්තුව ඔබගේ පීඩනය නිසා මා තුළ උපන් වේදනාව හා වැඩි පඩි, හොඳ ගෙවල්, වැඩි ආහාර, හැමටම රක්ෂා, කොටින්ම යුක්තියත්, සාධාරණයත් සඳහා නොනැමී, නොසෙල්වී සටන් කිරීමේ ශක්තියත් පමණි. අවුරුදු දෙකහමාරකට පෙර පැවති අතුරු මැතිවරණයෙදී මම පොරොන්දුවක් වූයෙමි.

ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ විවිධ අවස්ථාවල අවධානය යොමු කෙරේ. ඉතිහාසය සලකන විට කාන්තාව දේශපාලනයට පැමිණියේ සැමියාගේ මරණය හෝ පියා‍ගේ මරණය නැත්නම් පිය උරුමය මතය. මීට වෙනස් අවස්ථා ලංකා පාර්ලිමේන්තු දේශපාලනයේ හමුවූයේ ඉතා අවම වශයෙනි. එක් අවධියක ලංකාවේ ළාබාලතම මන්ත්‍රීවරිය ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ තමරා කුමාර ඉලංගරත්න මහත්මියගේ පාර්ලිමේන්තු ගමන ද එවැන්නකි.

1947දී පැවති ලංකාවේ පළමු මැතිවරණයට කාන්තාවෝ තිදෙ‍ෙනක් තරග කළහ. ලංකා සමසමාජ පක්ෂයෙන් ෆ්ලොරන්ස් සේනානායක, ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ශ්‍රීමතී අභයගුණවර්ධන සහ ස්වාධීන අපේක්ෂිකාවක ලෙස තරග කළ අයේෂා රාවුෆ්ය. එහිදි ෆ්ලොරන්ස් සේනානායකට පමණක් ජයග්‍රහණය කළ හැකි විය. ඒ අනුව සෝල්බරි ව්‍යවස්ථාවෙන් ස්ථාපිත පළමු පාර්ලිමේන්තුවේ පළමු මෙන්ම එකම මන්ත්‍රීවරිය වීමේ ගෞරවය හිමිවූයේ කිරිඇල්ල ආසනය තරගකර ජයග්‍රහණය කළ ෆ්ලොරන්ස් සේනානායක මහත්මියටය. ෆ්ලොරන්ස් සේනානායක සමසමාජ පක්ෂයේ කැපී පෙනෙන නායකයකු වූ රෙජී සේනානායකගේ බිරිය වූවාය.

රෙජී සේනානායක මහතා මෙන්ම සමසමාජ පක්ෂ‍යේ ආරම්භයේ සිටම ක්‍රියාකාරීව සිටි ෆ්ලොරන්ස් සේනානායක ද බෝගම්බර සිරගත කර සිටි සමසමාජ සාමාජිකයන් මුදා ගැනීමේ රහස් මෙහෙයුමේ කැපී පෙනෙන කාර්යක් ඉටු කළාය. 1947 පාර්ලිමේන්තුව නියෝජනය කළ පිලිප් ගුණවර්ධන මහතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිරගත කෙරිණි. එම නිසා අවිස්සාවේල්ල ආසනය හිස්වූ අතර ඒ සඳහා පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිය වූ කුසුමා ගුණවර්ධන තරග කර නිතරග ජයක් ලැබුවාය. ඒ අනුව පාර්ලිමේන්තුවට පත්වූ දෙවැනි කාන්තාව වූ කුසුමා ගුණවර්ධන ද සමසමාජ පක්ෂය නියෝජනය කළාය. 47 මැතිවරණයේ මහනුවර ආසනයෙන් තරග කළ ටී. බී. ඉලංගරත්න මහතාට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් නිසා ඔහුට පාර්ලිමේන්තු ආසනය අහිමි විය. පසුව1949 දී අතුරු මැතිවරණයක් පැවැත්විණි. එය ජයගත් ඉලංගරත්න මහතාගේ බිරිය තමරා කුමාරි ඉලංගරත්න සෝල්බරි පාර්ලිමේන්තුවට පත් තුන්වෙනි මන්ත්‍රීවරිය වූවාය. ඇය ද, වාමාංශික මතධාරිනියක් වීම සුවිශේෂය.

ෆ්ලොරොන්ස් සේනානායක සහ කුසුමා ගුණවර්ධන පිළිබඳ අවධානය යොමු කිරීමේදී තමරා කුමාරි ඉලංගරත්ත මහත්මියගේ දේශපාලන ආගමනය සුවිශේෂ විය. ඒ ඇය ගැමි කාන්තාවක් වීම නිසාවෙනි. බොහෝ විචාර‍කයෝ ඇය පාර්ලිමේන්තුවට ගිය පළමු ගැමි කාන්තාව ලෙස හැඳින්වූහ.

1925 මාර්තු 15 වැනිදා කෑගල්ලේ වේරකේ ගම්මානයේදී උපත ලද තමරා කුමාරි අලුදෙණියට සහෝදර සහෝදරියන් සිව්දෙනකු විය. පියා රජයේ ලිපිකාර මහතකු වූ පී. බී. අලුදෙණිය මහතා විය. ඇය 1944දී ටිකිරි බණ්ඩාර ඉලංගරත්න මහතා සමඟ විවාහ වූවාය. පසුකාලීනව රාජ්‍ය ලිපිකරු සේවා සංගමයේ සභාපති පදවිය දැරුවේ ඉලංගරත්න මහතා ය. 1947 දී පැවති මහ වැඩවර්ජනයේ නායකත්වය ගෙන කටයුතු කිරීම නිසා ඉලංගරත්න ඇතුළු රැසකට රැකියා අහිමි විය. මින් අනතුරුව ඉලංගරත්න මහතා සක්‍රිය ලෙස දේශපාලනයට නැඹුරු වූ අතර කොළඹ නැවතී සිය දේශපාලන කටයුතු වෙනුවෙන් කැපවිය.

එමෙන්ම මෙකල ඉලංගරත්න මහතා දැඩි පීඩනයට හසුව සිටි කාලයකි. නිවෙස සමඟ පැවති සබඳතා ද බෙහෙවින් අඩුවූ බව කියැවේ. ඇතැම්විට දිනගණන් ඔහු නිවෙසට පැමිණියේ නැත. මේ නොපැමිණීමත්, තොරතුරු නොමැති අවස්ථාවලත් ඔහු සිරගත කර ඇති බවට ඉලංගරත්න මහත්මිය පවා සැකකළාය. 1947 දී මහමැතිවරණයට මහනුවර ආසනය වෙනුවෙන් තරග කිරීමට ඉලංගරත්න මහතා කටයුතු කරනුයේ ද මෙකලය. එහිදී අත ලකුණ යටතේ ඔහු තරග වැදුණු අතර එහිදී අලියා ලකුණ යටතේ තරග වැදුණු ජෝර්ජ් ඊ. සිල්වාට පරාජය විය.

එහෙත් පසුව ඉලංගරත්න මහතාගේ පාර්ශ්වයෙන් එල්ල වූ ඡන්ද පෙත්සමක් නිසා ජෝර්ජ්.ඊ. සිල්වාට අසුන අහිමිවිය. පසුව අතුරු මැතිවරණයක් පැවති අතර එයින් ඉලංගරත්න මහතා ජය ලැබුවේය. එහෙත් ඔහුටද වැඩි කාලයක් තනතුරේ රැඳී සිටීමට වරම් ලැබුණේ නැත. ඒ, ටී.බී. ඉලංගරත්න මහතාට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් විම නිසා ය. අවසානයේ ඔහුට ද මන්ත්‍රී ධුරය අහිමි විය. එපමණක් නොව ඉලංගරත්න මහතාගේ ප්‍රජා අයිතිය ද වසර 7කට අහිමි කෙරිණි.

මේ ආකාරයෙන් කෙටි කාලයක් තුළ ඉලංගරත්න මහතා දැවැන්ත පරාජ දෙකක් ලැබුවේය. එකක් වෘත්තීය සමිති ඔස්සේ ලැබූ පරාජයකි. අනෙක මැතිවරණ දේශපාලන සටනකින් ලැබූ පරාජයකි. මෙහිදී පාක්ෂිකයෝ ඉලංගරත්න මහතාගෙන් ඉල්ලා සිටියේ බිරිය අතුරු මැතිවරණයට ඉදිරිපත් කරන ලෙසයි. එය පහසු කාර්යයක් නොවිණි.

ඉලංගරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇති හෙයින් ක්‍රියාකාරීව බිරියට සහාය වීමට ද නොහැකිය. ඇයට කිසිම මට්ටමකින් උදව් නොකළ ද අවසානයේ මැතිවරණයට සහාය දුන් බවට චෝදනා එල්ල කිරීමට ප්‍රතිවාදීන්ට ඉතා පහසුවෙන් හැකියාව තිබිණි. රැකියාවක් නොමැති නිසා ආදායමක් ද නැත. ගෙවල් කුලිය ගෙවිය යුතුය. එදිනෙදා ජීවත්විය යුතුය. ඒ අතරම මැතිවරණ සටනකට අප්‍රසිද්ධියේ සිට සහාය දැක්විය යුතුය. මේ සියලු ගැටලු මතුව තිබෙන විට සැමියා ලත් පරාජය ජයග්‍රහණයක් කරා යොමු කරවීමේ වගකීම තමරා කුමාරි ඉංගරත්න මහත්මිය භාර ගත්තාය. කෙසේ වෙතත් එම මහත්මිය මහනුවර ආසනයේ මන්ත්‍රී ධුරයට සුදුසු නොවන බව වම නියෝජනය කළ බොහෝ දෙ‍ෙනක්ගේ මතය විය. කුමන විරෝධතා මැද වුව ඇය මැතිවරණයට ඉදිරිපත් වූවාය. එක් අතකින් ඇය තරග කිරීමට ඉදිරිපත්වීම ධනපති පන්ති දෙබරයට ගල් ගැසීමක් බඳු විය. එසේම මැතිවරණය පහසු එකක් නොවිණි. තියුණු තරගයකට මුහුණපෑමට සිදුවිය. කෙසේ වෙතත් වමට හිතවත් බොහෝ පිරිස් ඉලංගරත්න මහත්මිය සමඟ විය. ඇයගේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වූ කුරුණෑගල මන්ත්‍රී ශ්‍රී නිශ්ශංක මහතා ඇය වෙනුවෙන් ආකර්ෂණීය සටන් පාඨයක් හඳුන්වා දුන්නේය.

“තම-රට රැක ගන්නට – තමරට ඡන්දය දෙන්න” මේ සටන් පාඨය එම මැතිවරණයේ තිබූ ආකර්ෂණීයම, ජනප්‍රියම සටන් පාඨය බව විචාරකයන්ගේ මතය විය. 1949 ජූනි 18 දින පැවති මහනුවර අතුරු මැතිවරණය පැවැත්විණි. එහිදී වැඩි ඡන්ද 2050කින් ප්‍රතිවාදියා පරාජය කිරීමට ඇය සමත් වූවාය. එහිදී තරුව ලකුණින් තරග වැදුණු ඉලංගරත්න මහත්මිය ඡන්ද 10062 ලැබුවාය. අත ලකුණින් තරග කළ ඒ.සී. ඇල් රත්වත්තේ මහතා ඡන්ද 8012 ලැබූ අතර අලියා ලකුණින් තරග කළ ආර්.ඊ. ජයතිලක මහතා ඡන්ද 1137ක් ලැබුවේය. කරත්ත රෝදයෙන් තරග කළ ඩී.බී. වඩුගොඩපිටිය මහතා ලබා සිටියේ ඡන්ද 270ක් පමණි. මේ ජයග්‍රහණය ලබන විට ඉලංගරත්න මහත්මිය 24 වැනි වියේ පසුවිය. ඒ අනුව ඇය ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ළාබාලතම මන්ත්‍රීවරිය වූවාය.

කෙසේ වෙතත් දේශපාලනය වැනි භාරදූර කටයුත්තකට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඇයට සමීපතම ඥාතීන්ගෙන් බලවත් විරෝධය එල්ල විය. දිනක් ඇය දේශපාලන කටයුත්තක නිරතව සිටිය දී උණු වතුර බඳුනක් නින්දේ සිටි අටමස් වියැති සන්ධ්‍යා කුමාරි දියණියගේ ඇඟට පෙරළී තිබිණි. ඇයගේ ඇතැම් දේශපාලන හිතවතුන් ප්‍රකාශ කරන පරිදි මන්ත්‍රීවරිය වූ පසුවත් ඇය ගෙදර දොර වැඩ හා දේශපාලනය අතර දෝලනය වෙමින් සිටියාය. මුළුතැන්ගෙයි කටයුතු කරමින් සිට ඔසරිපොටේ අත පිසදමමින් ලියවිලිවලට අත්සන් කළ අවස්ථා ද වූ බව කියැවේ.

ජයග්‍රහණයෙන් කෙටි කලකට පසුව ඇයට එරෙහිව ද මැතිවරණ පෙත්සමක් එල්ල විය. එහි චෝදනා රැසක් තිබුණු අතර ප්‍රජා අයිතිය අහිමි වූ සැමියා දේශපාලන වැඩවලට හවුල්වීම බරපතළ චෝදනාව විය. එම කරුණු සනාථ කිරීමට ප්‍රතිවාදීන් කරුණු රැසක් ගොනුකර තිබිණි. කෙසේ වෙතත් මේ චෝදනා සඳහා පිළිතුරු වෙනුවෙන් ඔවුන් කලින්ම මෙන් සූදානම් සිටියේය. සැමියාගේ ප්‍රජා අයිතිය අහිමිවීම බිරියට ද බලපානු ඇතැයි සිතූ ඉලංගරත්න මහතා නාමයෝජනා දිනයට පෙර බිරිය වෙනත් නි‍ෙවසක නතර කළේය. එමෙන්ම එතෙක් ඔහු ඇඳි යුරෝපීය ඇඳුම් වෙනුවට ජාතික ඇඳුම ඇඳීමට යොමුවිය. මැතිවරණ පෙත්සම ඉදිරිපත් වූ පසුව නීතිඥයන් අදාළ තර්ක ඉදිරිපත් කළ හෙයින් ඡන්ද පෙත්සම ප්‍රතික්ෂේප විය. මේ අයුරින් තමන්ට එරෙහිව එල්ලවූ මැතිවරණ පෙත්සම ජයගත් ඇය 1952 දක්වාම මැතිසබය නියෝජනය කළාය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේදී ඉලංගරත්න මහතාගේ මෙන්ම එම මැතිනියගෙන් ද සුවිශාල දායකත්වයක් ලැබිණි.

ශ්‍රී ලංකාවේ දෙවන මහමැතිවරණය 1952 මැයි මස 24 දින සිට පැවැත්වුණු අතර එහිදී කුඩය ලකුණ යටතේ ඉලංගරත්න මහත්මිය මහනුවර අසුනට ඉදිරිපත් වූවාය. ඇයගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ජාතික පක්ෂයේ බලවතකු වූ ඊ. ඇල්. සේනානායක මහතාය. එම මැතිවරණයට ඇය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයෙහි මෙසේ සඳහන් විය.

“මම දුප්පත් ගැහැනියක්මි”

“මට හිමි එකම වස්තුව ඔබගේ පීඩනය නිසා මා තුළ උපන් වේදනාව හා වැඩි පඩි, හොඳ ගෙවල්, වැඩි ආහාර, හැමටම රක්ෂා, කොටින්ම යුක්තියත්, සාධාරණයත් සඳහා නොනැමී, නොසෙල්වී සටන් කිරීමේ ශක්තියත් පමණි. අවුරුදු දෙකහමාරකට පෙර පැවති අතුරු මැතිවරණයෙදී මම පොරොන්දුවක් වූයෙමි. ඔබගේ පීඩනයට වගකිව යුතු එක්සත් ජාතික පක්ෂය පරාජය කරන තුරු මම සටන් කිරීමට පොරොන්දු වීමි. ඒ පොරොන්දුව ඉටුකරමින්, අතළොස්සකගේ මලු පිරවීම සඳහා මෙරට වැසි ගොවි කම්කරු ජනයා දිළිඳුන් කළ එක්සත් ජාතික පක්ෂය සහමුලින්ම වනසා දැමීම පිණිස යු.ඇන්.පී. විරෝධී ඉතාමත් ප්‍රබල ප්‍රජාතන්ත්‍ර සමාජවාදී දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම බැඳුණෙමි” කෙසේ වෙතත් මැතිවරණයෙන් ඉලංගරත්න මහත්මිය පරාජය වූවාය. පසුව ඇය ඉලංගරත්න මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීමට පෙලඹිණි. ඒ අනුව 56, 60 මැතිවරණවලට ඉදිරිපත් නොවිණි.

නැවතත් 1970 වර්ෂයේ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. එම මැතිවරණයෙන් ටී.බී ඉලංගරත්න මහතා ද පාර්ලිමේන්තු වරම් දිනා ගැනීමද සුවිශේෂ විය. ඒ අනුව ඉලංගරත්න මහතා සහ මහත්මිය සමගි පෙරමුණ ආණ්ඩුවේ නියෝජිතයන් ලෙස එකම පාර්ලිමේන්තුව නියෝජනය කිරීම දුර්ලභ අවස්ථාවක් විය. කෙසේ වෙතත් සමගි පෙරමුණ ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය නිසා වැඩි චෝදනාව එල්ල වූයේ ඉලංගරත්න මහතාටය. ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ද එතුමාට මේ සම්බන්ධයෙන් චෝදනා විය. කෙසේ හෝ 1977 පාර්ලිමේන්තුවෙන් එජාපයට 5/6ක බලයක් ලැබිණි. එහිදී ඉලංගරත්න මහතාට මෙන්ම මැතිනියට දරුණු පරාජයකට මුහුණ දීමට සිදුවූහ.

මලික් චමින්ද ධර්මවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT