Home » අනුරගේ පක්ෂ මාරුවෙන් සිරිමා හැඬූ රැස්වීම

අනුරගේ පක්ෂ මාරුවෙන් සිරිමා හැඬූ රැස්වීම

by sachintha
October 23, 2024 1:58 am 0 comment

රටක් පාලනය කළ එඩිතර අවංක නායිකාවක් ලෙස හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැඳින්විය හැකිය. 1960 වසරේ ලොව ප‍්‍රථම අගමැතිනිය ලෙස පත්වී ශ‍්‍රී ලංකා නාමය ලෝකයට රැගෙන ගිය එතුමිය නැවත වතාවක් 1970 සහ 1994 යන වසරවලදී අග‍්‍රාමාත්‍ය තනතුරට පත්වූවාය. එම පාලන කාලය තුළ විශාල අභියෝග රාශියකට මුහුණ දෙන එතුමිය, ඒවා ජය ගන්නේ එතුමිය සතු නොසැලෙන ආත්ම ශක්තියත් එඩිතර නායකත්වයත් ලොවටම විදහා පාමිනි.

1978 වසරේදී දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම පිණිස ජේ.ආර්. ජයවර්ධන විසින් විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා නීතිය පිහිටුවන ලදි. ව්‍යවස්ථානුකූල ඒකාධිපතියකු වීමට සිහින මැවූ එක්සත් ජාතික පක්‍ෂ නායක ජේ.ආර්. ජයවර්ධන විසින් මෙම නීතිය සම්මත කරන ලද්දේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු තවත් පළිගැනීම් සඳහාය. එකී කොමිෂන් සභාවට අතීත කාලයට බලපාන බලතල පැවරිය නොහැකි යැයි අභියාචනාධිකරණය දුන් තීන්දුව එක්සත් ජාතික පක්‍ෂය සතුව තිබූ හයෙන් පහේ පාර්ලිමේන්තු බලයෙන් සමතලා කරන ලදි. ඒ අනුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව විභාගය පවත්වාගෙන ගොස්, 1980 සැප්තැම්බර් මස 25 ඇය බලය වැරදි අයුරින් පරිහරණය කිරීම පිළිබඳව වරදකරු කරන ලදි. 1980 ඔක්තෝබර් 16 දින පාර්ලිමේන්තුවට යෝජනා දෙකක් ඉදිරිපත් කර 1970 – 1977 පාලන කාලය තුළ මෙරට අග‍්‍රාමාත්‍ය පදවිය හෙබවූ ඒ වන විට අත්තනගල්ල මන්ත‍්‍රීවරිය මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකාවද වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිවාසිකම් වසර 7 කට අහිමි කරමින් අදාළ යෝජනා වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලදි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට තමාගේ ප‍්‍රජා අයිතිය අහෝසි වීම ගැන කනස්සල්ලක් ඇති වුවද දේශපාලනික වශයෙන් නොසැලුණාය. ඒ නොසැලුණ එඩිතර හදවත සැලුණේ ඇය පක්ෂයේ සභාපති තනතුරින් ඉවත් කිරීමට පක්‍ෂයේ ප‍්‍රබලතම පිරිසක් කලඑළි බැසීමත් සමඟය. ඒ වේදනාව ඇයට වඩාත් දරාගත නොහැකි වූයේ තමාගේ පුත් අනුර බණ්ඩාරනායක මහතාත් ඒ ප‍්‍රතිවාදීන්ගේ පැත්තට එකතු වීම ගැනය. ඔවුනට මුළා වී කටයුතු කිරිම ගැනය.

“මම මගේ ප‍්‍රජා අයිතිය නැති කරනවයි කියා මම ඒ වෙලාවේ සැලුණේ නෑ. මම මගේ රටේ මට ආදරය කරන ජනතාව වෙනුවෙන් ඉතාමත් එඩිතරවයි ජේ.ආර්. ජයවර්ධනගේ ජනාධිපති කොමිසමට සාක්කි දෙන්න ඉදිරිපත් වුණේ. එහෙම නැතුව නිදහස ලබාගන්නවත් සමාව ඉල්ලා ගන්නවත් නොවෙයි.” එසේ කී බණ්ඩාරනායක මැතිනිය තමාට පක්‍ෂයේ සභාපතිකමින් ඉවත් වන්නැයි ඇඟිල්ල දිගු කළ අයට තමාගේ ඉතා දිගු කොමිෂන් සාක්‍ෂියේ අවසාන කොටස් සිහිපත් කර දුන්නාය.

“සාමාන්‍ය වශයෙන් අධිකරණයකට හෝ අධිකරණ මණ්ඩලයකට ඇඟිලි ගැසීම උසාවියකට අපහාසයක් කළා යැයි කෙනෙක් දඬුවම් ලැබීමේ වරදක් වෙයි. ව්‍යවස්ථාවේ 116 (2) වගන්තිය යටතේ ඔහුගේ ප‍්‍රජා උරුමය නැති වීමටද ඉඩ ඇත. එහෙත් ව්‍යවස්ථාවේ තිස් පස් වෙනි වගන්තිය පරිදි ජනාධිපති විසින් නිල වශයෙන් හෝ පුද්ගලික වශයෙන් කර ඇති වරදකට නඩු පැවරීමෙන් ආවරණය වීමේ පරීක්‍ෂණවලට බාධා රහිතව ඇඟිලි ගැසීම සිදු කෙරෙනවා.”

“ඔහු ප‍්‍රධාන වශයෙන් මේ ගැන උනන්දු වන බව මා ප‍්‍රකාශ කර සිටින්නේ, ඔහු විසින් නම් කළ ඇත්තන් ලවා මා වැරදිකරු යැයි තීරණය කළහොත් ඔහුගේ දේශපාලන පක්‍ෂයේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක සිටින්නවුන් විසින් මගේ ප‍්‍රජා අයිතිය අහෝසි කර ජනාධිපති තනතුර සඳහා ඉදිරියේ පැවැත්වෙන පළමුවැනි ඡන්ද විමසීමේදී ප‍්‍රධාන විරුද්ධවාදියා වූ මා තරගයෙන් ඉවත් කර ගැනීමට කල් ඇතිව සහතික කෙරෙන නිසාය.”

“ඉතා හරබර දේශපාලන මුහුණුවරක් ගත්තා සේ සලකා කලඑළි බස්සවා ඇති මේ කොමිසම පත් කිරීමට හේතුවත් එහි පරමාර්ථයත් එයම බව ප‍්‍රකාශ කරමි.”

“රජයට අහිතකර සෑම දෙනාම සහ මගේ පවුලේ අනෙකුත් අයත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජයේ නීතිඥයන් විසින් සමච්චලයට ලක්කළාක් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට මා සමච්චලයට ලක්කිරීමේ අවස්ථාවක් ඇරුණ විට වෙන කිසිම පලක් මේ කොමිසමෙන් ඇති නොවන බව කීමට හේතු මට තිබෙනවා.”

“නින්දා අපහාස කිරීම පිළිබඳව තවත් කැරොල් නැටුමක් ආරම්භ කර ජනතාවට සිහිමුර්ඡා වන තුරු ගුවන්විදුලියෙන් මේ අය බෙරිහන් දේවි. මගේ දේශපාලන ජීවිතය මෙතනින් හමාර වුවත් එවැනි ගර්හිත කෝලම් ආදියට හෝ අමනෝඥ මඩගැසීම් නැවත ප‍්‍රදර්ශනය කිරීම්වලට හෝ භාජනය වීමට මම අකැමැති බව ප‍්‍රකාශ කරමි. මා එසේ නින්දා අපහාසවලට භාජනය වීම මේ රටේ ජනතාවට කරන අගෞරවයකි. මදිපුංචිකමකි. ජනතාව දෙන ඕනෑම තීරණයක් කවදත් වෛරයෙන් හා ද්වේෂයෙන් තොරව මම භාර ගත්තෙමි. අනාගතයේදී පැවැත්වෙන නිදහස් මැතිවරණයේදී රටේ නායකත්වයට මා නුසුදුසු යැයි ජනතාව තීරණය කරනවා නම් ප‍්‍රීතියෙන් එම ජනමතයට හිස නැමීමට මම සූදානම්.”

“මා සවිස්තරාත්මකව දක්වා ඇති වටපිටාව තුළ අපක්‍ෂපාතී නඩු විභාගයක් පවත්වා නිර්දෝෂ වීමේ සාධාරණ අවස්ථාවක් මට ලබාගත හැකි වෙතැයි මම දැන් විශ්වාස නොකරමි. මේ හේතු නිසාවෙන් ගරු කොමසාරිස්වරුනි තවදුරටත් මේ කොමිසමේ පරීක්‍ෂණවලට සහභාගි වීමට මම අදහස් නොකරමි. ඒ බව ගෞරවයෙන් ප‍්‍රකාශ කරමින් මා මේ පරීක්‍ෂණයෙන් ඉවත් වෙමි. මට සාවධානව සවන් දුන් ඔබතුමන්ලාට ස්තුති කරමි.”

මෙවන් ප‍්‍රකාශයක් කොට ජනාධිපති කොමිෂන් සභාවෙන් එඩිතර නායිකාවක ලෙස එළියට බැස පැමිණි, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දෑස්වලින් කඳුළු වැටුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

ස්ටැන්ලි තිලකරත්න මහතා මතු කළ නීති ප‍්‍රශ්නයක් සමඟ ඇයට නොසැලී ගැටෙන්නට ශක්තිය තිබුණි. එහෙත් ඇයට දරාගත නොහැකි වූයේ තම පුත් අනුර බණ්ඩාරනායක මහතා ඔවුනට එකතු වී සිටීම ගැනය. අනුර බණ්ඩාරනායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති වනවාට මැතිනිය තුළ කිසිම අහිතක් නොවීය. ඇගේ අනාගත අපේක්‍ෂාව වී තිබුණේද එයමය. එහෙත් එය ක‍්‍රමානුකූලව සංයමයෙන් සිදුවිය යුත්තක් බව මැතිනියගේ අදහස විය. ඒ මැතිනිය අනුරගේ දේශපාලන ගමන ක‍්‍රමානුකූලව සැලසුම් කළ නිසාය.

අනුර බණ්ඩාරනායක 1977 මැතිවරණයෙන් නුවරඑළියට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට අරගත්තේද ඔහුගේ දේශපාලන අනාගතය ගැන සලකාය. ඒ වන විට නුවරඑළිය – මස්කෙලිය මැතිවරණ කොට්ඨාසය පැවතියේ බහු මන්ත‍්‍රී කොට්ඨාසයක් ලෙසය. මැතිවරණයෙන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ලෙස තෝරාගනී. එහි පළමුවැනි මන්ත‍්‍රී ධුරය එක්සත් ජාතික පක්‍ෂයට ගියත් දෙවැනි මන්ත‍්‍රී ධුරය අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලැබෙන බව මැතිනිය දැන සිටියාය. තම පුත් අනුර බණ්ඩාරනායක මහතා එයට ඉදිරිපත් කළේ ඒ ස්ථීර වූ ජයග‍්‍රහණයෙන් පුතා දේශපාලන කරළියට ඇදගැනීමේ එකම අපේක්‍ෂාවෙනි. එවන් වූ දේශපාලන පසුතලයක් නිර්මාණය කරමින් තිබුණ අනුරගේ ජීවිතය වෙනස් වීම මැතිනියට දරාගත නොහැකි විය. ඇය කඳුළු සැලුවේ ඒ ගැනය. ස්ටැන්ලි තිලකරත්න, ජේ.ආර්.පී. සූරියප්පෙරුම සහ මෛත‍්‍රීපාල සේනානායක වැනි පක්‍ෂයේ ඉහළම පෙළේ කණ්ඩායම අනුරගේ අතින් ඒ පැත්තට ඇද ගනිද්දී මැතිනියගේ කඳුළු පිසින්නට ඉදිරිපත් වූයේ බෑනණුවන් වූ විජය කුමාරතුංගය.

එම්. තාරික්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT