එක්සත් ජාතීන්ගේ වාර්තා නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ ඉදිරි දශක කිහිපය තුළ ලෝක අර්බුද ගණනාවක් නිර්මාණය විය හැකි බවය. එයින් වැඩිම පීඩාවකට ලක් වන්නේ ආසියා හා අප්‍රිකා රටවල් බව ද සඳහන්ය.
රටේ ජනතාවගේ දේශපාලන අභිමතය සඳහා බලපෑම් කරන ප්‍රධාන සාධකය වන්නේ ආර්ථිකය යැයි තර්කයක් ගොඩනැඟිය හැකිය. එබඳු ප්‍රවණතාවක් ගොඩනැඟෙන්නේ නිදහස ලැබීමෙනුත් කාලයක් ගතවූ පසු ය. නිදහසට පෙර ජනතාවගේ අවධානය යොමු වූයේ රටේ ස්වාධීනතාව, අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීම, දේශපාලන හා ආගමික නිදහස ආදී සාධකයන් වලටය. එදා ආර්ථික ගැටලු ප්‍රධාන වූයේ නැත. ඊට හේතුසාධක කිහිපයක් ද තිබිණි.
(I) ස්වයංපෝෂිත ආර්ථික රටාවක් පැවතීම
(II) ජනජීවිතය බෙහෙවින් සරලවීම, පරිභෝජන අවශ්‍යතා අල්පය.
(III) ජනගහනය හා ජනගහන වර්ධනය සීමිත වීම, සෑම පවුලක් සතුවම යැපුම් මාර්ග පැවැතීම
යුරෝපා ජාතිකයන්ගේ ආක්‍රමණ නිසා රටේ ස්වයංපෝෂිත ආර්ථික රටාව විනාශ විය. ඒ වෙනුවට ආක්‍රමණිකයාට වාසිදායක වතු වැවිලි අංශයට රට යොමු කෙරිණි. වී ඇතුළු ධාන්‍ය වගාවට ලබාදුන් ප්‍රමුඛතාව අහෝසි විය. ඒ අනුව තේ – පොල් – රබර් අපනයන ආර්ථිකයකට රට යොමු විය. නිර්යාත ආදායමෙන් ආනයන වියදම් පියවා ගැනිණි. එදා ලෝක වෙළෙඳපොළෙහි ආහාර ද්‍රව්‍යවල මිල සතුටුදායක විය. ඒ අනුව විදේශ විනිමය, රුපියලේ වටිනාකම, ආනයන වියදම් බරපතළ ගැටලු බවට පත්වූයේ නැත. එහෙත් පසුකලෙක මේ ක්‍රමයේ විකෘතිතා කිහිපයක් මතු විය.
(I) ආනයන අවශ්‍යතා ඉහළ ගිය අතර ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය විය.
(II) ලෝක වෙළෙඳපොළෙහි තේ, පොල්, රබර් මිල පහළ ගියේ ය.
(III) රටේ විදේශ විනිමය සංචිත කෙමෙන් පහළ ගිය අතර ආනයන සඳහා ද රටේ සංවර්ධනය සඳහා ද විදේශ ආධාර හා ණය ලබාගැනීමේ අවශ්‍යතාව පහළ විය.
මෙබඳු ආර්ථික පරිසරයක් තුළ ජනතාවගේ දැඩි අවධානය යොමු වූයේ උද්ධමනය, ජීවන වියදම, රාජ්‍ය සේවක වැටුප්, සහනාධාර ආදිය කෙරෙහි ය. ජනතාවගේ දේශපාලන අභිමතය තීන්දු වන ප්‍රධාන සාධකය බවට ආර්ථික සාධක මතුවන්නේ ඉහත සඳහන් පසුබිම යටතේ ය.
1948දී නිදහස ලබාගැනීමෙන් දශක දෙකක් ගෙවී යන කල අපේ රටේ ආර්ථිකයේ කඩාවැටීම ආරම්භ වූයේ යැයි කීම නිවැරැදිය. රටේ නායකයන් රාජ්‍ය පාලනය සඳහා ගනු ලැබූ වැරැදි තීන්දු, තීරණ මෙන් ම ලෝක ආර්ථිකයේ අයහපත් තත්ත්වයන් ද ඒ සඳහා බලපාන්නට ඇතැයි කිව හැකි ය. ඒ සඳහා විශේෂයෙන් බලපෑ සාධක කිහිපයක් උපුටා ගත හැකිය.
(I) ජනගහන වර්ධනයත් සමඟ ඊට ගැළපෙන ලෙස ආහාර නිෂ්පාදනය වර්ධනය නොවීම
(II) ප්‍රධාන නිර්යාත සඳහා තරගකාරීත්වයක් මතුවීම හා ඒවායෙහි වෙළෙඳපොළ මිල පහත වැටීම
(III) ශ්‍රම හමුදාව නිශ්චිත ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගැනීමට නොහැකි වීම
තවත් කාලයක් ගත වනවිට විදේශ ණය ගැනීම අපේ ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ අතර රට ණය උගුලක හිර වූ බව පැහැදිලි වෙයි. මේ පිළිබඳ විග්‍රහයක යෙදෙන ආර්ථික විශේෂඥයෝ “ණය අර්බුදය” හා තුන්වැනි ලෝකයේ රටවල් සම්බන්ධයෙන් විවිධ විශ්ලේෂණ ඉදිරිපත් කළහ.
ලෝක බැංකුව මුල් වකවානුව තුළ කියා සිටියේ ණය ලබාගැනීම මෙන්ම ණය හා පොලී ගෙවා දැමීමත් තුන්වැනි ලෝකයේ රටවල්වල සංවර්ධනයේ සංකේතයක් බවය. ණය ලබාගැනීම සඳහා තෙවැනි ලෝකයේ රටවල් උනන්දු කරවීම එදා ලෝක බැංකුවේ ප්‍රතිපත්තිය විය. එහෙත් කාලය ගත වී යන විට ණය සඳහා කොන්දේසි පැනවීමට ලෝක බැංකුව ඉදිරිපත් විය. ඇතැම් රටවලට ණය ගෙවාගත නොහැකි වීම ඊට ප්‍රධාන හේතුව විය. 1970 ගණන්වල ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය හිමි කරගෙන සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තෙවන ලෝකයේ රටවල් සඳහා වෙනම ජගත් බැංකුවක් පිහිටිවිය යුතු බවට යෝජනාවක් නොබැඳි ජාතින්ගේ සමුළුවට ඉදිරිපත් කළාය. එය බොහෝ දෙනාගේ ප්‍රසාදයට හා ඇගයුමට ලක් වුව ද සාර්ථක වැඩසටහනක් ඒ සඳහා ක්‍රියාත්මක වූයේ නැත.
එක්සත් ජාතීන්ගේ වාර්තා නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ ඉදිරි දශක කිහිපය තුළ ලෝක අර්බුද ගණනාවක් නිර්මාණය විය හැකි බවය. එයින් වැඩිම පීඩාවකට ලක් වන්නේ ආසියා හා අප්‍රිකා රටවල් බව ද සඳහන්ය. මේ අර්බුද අතර ප්‍රධාන තැන ලැබෙන්නේ ආර්ථිකයට සම්බන්ධ සාධකවලටය.
(I)ආහාර නිෂ්පාදනයේ පසුබෑම හා ස්වාභාවික විපත්වල ව්‍යාප්තිය
(II)මන්දපෝෂණය ශීඝ්‍රයෙන් පැතිරයෑම, වසංගත රෝග පැතිරයෑම
(III)දිළිඳුකම ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම, සාගතයෙන් දරුවන් මියයෑම
දකුණු ආසියාව ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත කලාපය බව මේ වනවිටත් ප්‍රකාශ වී ඇත. එහි යටි අර්ථය වන්නේ මේ කලාපයට ඉහත ගැටලු ඉතා පීඩාකාරී ලෙස බලපාන බව ය. අද අපගේ නායකත්වයට අලුත් ආර්ථික උපායමාර්ග හඹා යන්න සිදු වී ඇත. එහි අර්ථය වන්නේ තවදුරටත් සාම්ප්‍රදායික දේශපාලන රටාව පවත්වාගෙන යා නොහැකි බවය.
රන්ජන් අමරරත්න