Home » කල්පිටිය ට්‍රැෆික් OIC අත්අඩංගුවට

කල්පිටිය ට්‍රැෆික් OIC අත්අඩංගුවට

by sachintha
October 23, 2024 12:24 am 0 comment

මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවේ සිට රැගෙන ආ බීඩි කොළ සහ කහ තොගයක් රැගෙන යමින් තිබුණු ලොරි රථයක් කල්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අල්ලා ඒවා නඩු භාණ්ඩ ලෙස රේගුවට භාරදීමට කටුනායකට රැගෙන එමින් තිබියදී එම බීඩි කොළ තොගයෙන් කොටසක් අතරමඟදී සොරා ගනිමින් සිටි කල්පිටිය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ ලොරි රථයේ රියැදුරු මීගමුව කොට්ඨාස… අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බීඩි කොළ තොගය කල්පිටිය පොලිසියේ නිලධාරීන් විසින් අල්ලාගෙන ඇත්තේ පසුගිය 20 වැනිදාය. බීඩි කොළ කිලෝ 620ක් අඩංගු මිටි 20ක් ද කහ කිලෝ 1276ක් අඩංගු මිටි 40ක් ද සමඟ එහිදී කල්පිටිය පොලිසියේ නිලධාරීන් ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ රියැදුරු සමඟිනි. පොල් ලෙලි සහ පොල් ගෙඩි ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම භාණ්ඩ ලොරි රථයේ රැගෙන යමින් තිබී ඇත.

මෙම බීඩි කොළ සහ කහ තොගය නඩු භාණ්ඩ ලෙස කටුනායක නයිකන්දේ පිහිටි රේගු කාර්යාලයට භාරදීමට රැගෙන යෑමේ වගකීම පැවරී තිබී ඇත්තේ කල්පිටිය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි වීරසිංහටය. මෙම බීඩි කොළ තොගය ලොරි රථයකින් කටුනායක බලා රැගෙනවිත් ඇත්තේ පෙරේදා (21) පෙරවරුවේදීය. ඒ රැගෙන එන අතරතුර උප පොලිස් පරීක්ෂකවරයාත් ලොරි රථයේ රියැදුරුත් කල් තියා කළ සැලසුමකට අනුව ලොරි රථය මීගමුව කට්ටු ප්‍රදේශයේ පාළු ඉඩමකට රැගෙන ගොස් ඇත. එම ස්ථානයට ඒ වන විට වෑන් රථයක් පැමිණ තිබී ඇතැයි පොලිසිය කියයි. එම වෑන් රථයට ලොරි රථයේ තිබුණු බීඩි කොළ මිටි 20 වෑන් රථයකට පටවා ඒ වෙනුවට පාරිභෝජනයට ගත නොහැකි දිරා ගිය බීඩි කොළ මිටි 20ක් පටවා ඇති බව පොලිසිය කියයි.

මෙසේ බීඩි කොළ වෑන් රථයට පටවමින් තිබියදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් වැටලීමක් කර තිබේ. එම අවස්ථාවේදී වෑන් රථයේ රියැදුරු පලාගොස් ඇත. මේ ගැන උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව නඩු භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා සහ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් පියවර ගෙන තිබේ. ලොරි රථයේ රියැදුරු අම්මාතෝට්ටම්, පල්ලිවාසල්තුරෙයි, කල්පිටිය පදිංචිකරුවකු වන පීටර් මහේන්ද්‍රන් නමැති අයෙකි.

ගයාන් කුමාර වීරසිංහ, කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT