Monday, April 21, 2025
Home » රනිල් පෙත්සම් දෙකක වගඋත්තරකරුවකු කරයි

රනිල් පෙත්සම් දෙකක වගඋත්තරකරුවකු කරයි

by sachintha
October 23, 2024 12:22 am 0 comment

සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර අදාළ පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණය ඊයේ (22) අවසර ලබා දුන්නේය. වික්‍රමසිංහ මහතා තවදුරටත් ජනාධිපති ධුරය නොදරන බැවින් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ඔහුගේ නම පෙත්සම්වලට ඇතුලත් කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය දෙන ලදි. ඒ අනුව සංශෝධිත පෙත්සම් අධිකරණයට ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කරන ලදි. එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

සමාජවාදී තරුණ සංගමයේ කමිටුවේ සාමාජිකයකු වන මහේෂ් ඉඳුනිල් මහතා සහ තවත් අයකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. කුරුඳුවත්ත, මරදාන සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු ඇතුළු පිරිසක් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබේ.

එවකට පැවැති රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් 2022 සැප්තැම්බර් 27 වැනි දින කොළඹ ලිප්ටන් වට රවුමේ පැවැති බව පෙත්සම්වල සඳහන් වේ. එහිදී විරෝධතාකරුවන්ට පොලිසිය විසින් පහරදුන් අතර හයදෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරින ලද බව එහි සඳහන් වේ. තවත් දෙදෙනකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලදි. අධි ආරක්ෂිත කලාපයට නීති විරෝධීව ඇතුළු වීම තම සංවිධානයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම හේතුව ලෙස දක්වා ඇති බව පෙත්සම්වල සඳහන් වේ. එහෙත් අදාළ අධිආරක්ෂිත කලාප පිහිටුවා ඇත්තේ නීතියට පටහැණිව බැවින් එහි සත්‍යතාවක් නැති බව පෙත්සම් මඟින් පෙන්වා දී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. අදාළ ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් වශයෙන් ප්‍රකාශයට පත්කරන බවට ප්‍රකාශ කරන ලද ගැසට නිවේදනය බල රහිත කරන ලෙස ද එය නීතියට පටහැණි බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාර මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT