Monday, April 21, 2025
Home » මාතර ඝාතනයට PC ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

මාතර ඝාතනයට PC ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

by sachintha
October 23, 2024 12:21 am 0 comment

විදේශයක සැඟවී සිටින රොටුඹ අමිල නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටි පුද්ගලයකුට මාතර නාවිමනේදී ත්‍රිරෝද රථයක් තුළදී වෙඩි තබා ඝාතනය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සෙබළකු වන මෙම කොස්තාපල්වරයා සේවය අතහැර ගිය අයකු බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ත්‍රිරෝද රථයක් කුලියට ධාවනය කරමින් ද සිට ඇති මොහු පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටි පුද්ගලයාව ඝාතනය කරනු ලබන්නේ පසුගිය 15 වැනිදාය.

නාවිමනට ගෙන්වාගෙන ඔහුට වෙඩි තබා ඇති බවත් එදින අලුයම් කාලයේදී ද නිවෙසේදී ඔහුව ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවත් විමර්ශනවලින් හෙළිවී තිබිණි. විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයා සමඟ අත්අඩංගුවට ගත් අනෙත් සැකකරු අලුයම් කාලයේදී වෙඩි තබා පොලියට මුදල් ලබාදෙන එම පුද්ගලයා ඝාතනයට පැමිණි පුද්ගලයා බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සඳහන් කළේය.

අලුයම් කාලයේදී ඉලක්කය වැරදුණු බැවින් දහවල් කාලයේදී නැවත එම ඝාතනයට සම්බන්ධ විය නොහැකි බව විදේශගතව සිටින ඝාතන කොන්ත්‍රාත්කරුට පැවසීම හේතුවෙන් හිටපු කොස්තාපල්වරයා යොදා එදින සවස මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. වෙඩික්කරුවන් දෙදෙනාටම රුපියල් ලක්ෂය බැගින් මුදල් මේ සඳහා ලැබී ඇතැයි ද විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වූ ආරවුලක් මෙම ඝාතනයට මුල්වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

දැනට විදේශගතව සිටින රොටුඹ අමිලගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදුවී ඇති බව මෙන්ම වෙඩික්කරුවන් සඳහා ගිනි අවිය හා ඝාතනය සඳහා ගමන් කිරීමට මෝටර් රථය සපයා ඇත්තේ ද ඔහු විසින් බවට තොරතුරු ලැබී ඇතැයි විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. වෙඩික්කරුවන් විසින් මෙම ඝාතනය සිදු කිරීමෙන් පසුව එම මොටර් රථය පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබිණි. අනතුරුව ඔවුන් වෙනත් රථයකින් කෑගල්ල ප්‍රදේශයට ගොස් සැඟව සිට ඇත.මොවුන් එම ඝාතනය කර කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවට ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍යනාශක සාගර කුලසේකර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ ii හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්ලිව්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වහා කියාත්මක වී මහත් වූ පරිශ්‍රමයක් දරා මෙම වෙඩික්කරුවන් දෙදෙනා සහ වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම ඝාතනයට ඔත්තු බැලූ පුද්ගලයා සහ වෙඩික්කරුවන් ගමන් කළ මෝටර් රථය මෙයට පෙර පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් සංවිධානාත්මක අපරාධ මැඬලීම් ඒකකයේ පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම සැකකරුවන් සියලු දෙනාම වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මාතර මූලස්ථාන පොලිස් ස්ථානයට භාරදී තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT