Home » යාපනය හැර ඕනෑම අධිකරණයකදී ගෝඨාභය සාක්ෂි දෙන්න සූදානම්
ලලිත් - කූගන් අතුරුදන් වීම

යාපනය හැර ඕනෑම අධිකරණයකදී ගෝඨාභය සාක්ෂි දෙන්න සූදානම්

by sachintha
October 23, 2024 12:18 am 0 comment

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් 2011 වසරේ පැහැරගෙන යෑමේ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය අධිකරණය හැර වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට කැමැත්තෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව දන්වා සිටියේය.

ප්‍රීතිපද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

එහිදී ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියේ අදාළ නඩුව සම්බන්ධයෙන් සිය සේවාදායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවය. එහෙත් එම අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීමට ඔහු කැමැත්තෙන් පසුවන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය ද ඊට විරුද්ධත්වයක් පළ කළේ නැත. ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල නැවත කරුණු සලකා බැලීම සඳහා පෙත්සම ලබන වසරේ මාර්තු මස 18 වැනිදා කැඳවීමට නියම කළේය.

ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් 2011 වසරේ දෙසැම්බර් මස 10 වැනිදා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් හබයාස් කෝපස් පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා එවක ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නොතීසි නිකුත් කර තිබිණි.

ආරක්ෂක ලේකම්වරයා ලෙස ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බැවින් එම නොතීසි රහිත කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට මීට පෙර මෝසමක් ඉදිරිපත් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හෙයින් ඔහුව සාක්ෂියට කැඳවිය නොහැකි බවට එම මෝසම සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මීට පෙර තීරණය කළේය. අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැණි බව පවසමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා වර්තමානයේ ජනාධිපති ධුරයෙන් ඉවත්වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස මෙම අභියාචනා පෙත්සම මඟින් ඉල්ලා ඇත. නීතිඥ නුවන් බෝපගේ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT